ලංගම තවදුරටත් පරපුටුවෙක් නොවේ

  👤  2512 readers have read this article !
By mawbima 2018-11-16

උපතිස්ස පෙරේරා


ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තවදුරටත් පරපුටු ආයතනයක් සේ මහා භාණ්ඩාගාරයෙන් යැපීමට සූදානම් නොමැති බවත්, එය මේ වනවිට මූල්‍යමය වශයෙන් ශක්තිමත් ආයතනයක් බවට පත්කිරීමට හැකිවීම පිළිබඳව ශ්‍රී ලංගම සේවකයන්ට ප්‍රණාමය පුදකරන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.


ශ්‍රී ලංගම ඩිපෝ ඉතා ක්‍රමානුකූලව මූල්‍යමය පාලනයක් තුළින් ඉතිරි කරගත් මුදලින් නව බස් රථ මිලදී ගැනීමට හැකිවී ඇතැයිද බස් රථ 1000ක් මිලදී ගැනීමට භාණ්ඩාගාරයෙන් ලබාදෙන බව ප්‍රකාශ කළ මුදල් නොලැබුණද, ශ්‍රී ලංගමය ශක්තිමත්ව පවත්වාගෙන යෑම සඳහා මෙලෙස ලාභ ලබන ඩිපෝ විසින් නව බස් මිලදී ගන්නා බවත් ඇමැතිවරයා සඳහන් කරයි.


ලාභ ලබන ඩිපෝ කිහිපයක් විසින් මිලදී ගන්නා ලද නව බස් රථ 14ත් එම ඩිපෝවලට භාරදීම නිමිත්තෙන් නාරාහේන්පිට ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලයේදී පැවැති උත්සවයකට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ අදහස් පළ කළේය.


ශ්‍රී ලංගම ප්‍රාදේශීය ඩිපෝ 106න් ඩිපෝ 85ක් පමණ ලාභ ලබමින් පවතින බවත් එම ඩිපෝ මඟින් උපයන ආදායමෙන් හා ලාභ උපයෝගි කරගනිමින් මගී සේවා පුළුල් කිරීම සඳහා අවශ්‍ය බස් රථ මිලදී ගැනීම මේ වනවිටත් අරඹා ඇතැයි කී ඇමැතිවරයා, පසුගියදා හැටන් ඩිපෝව මඟින් බස් රථ 12ක් මිලදී ගෙන ඇති බවත් පොළොන්නරුව, වෙන්නප්පුව, මහරගම, කුලියාපිටිය යන ඩිපෝවලින් මිලදී ගත් බස් රථ 14 මෙසේ භාරදෙන බවත් සඳහන් කළේය. මේ බස් රථයක මිල රුපියල් මිලියන 6.9ක් වන අතර මුළු වටිනාකම රුපියල් මිලියන 96.6ක් වන බවද හෙතෙම සඳහන් කළේය.


සාමාන්‍ය බස් රථවලට අමතරව අධිවේගී මාර්ගයේ ධාවනය සඳහා බස් රථ 9ක් මිලදී ගැනීමට පොළොන්නරුව, කටුබැද්ද, මහරගම හා මධ්‍යම බස් රථ කාර්යාලය කටයුතු කර ඇතැයි කී ඇමැතිවරයා ඒවායේ මුළු වටිනාකම රුපියල් මිලියන 153.9ක් බවත් එම බස් රථ කඩිනමින් ධාවනයට යෙදවීමට පියවර ගෙන ඇතැයිද කීවේය. කල්බදු ලීසිං ක්‍රමය යටතේ තවත් බස් රථ 300ක් මිලදී ගැනීමටත්, ඉන්දියානු ණය මත බස් රථ 500ක් මිලදී ගැනීමටත් තීරණය කර ඇති නිසා ශ්‍රී ලංගම බස් ඇණිය වැඩිවී එහි ආදායමද වැඩිවනු ඇතැයි හෙතෙම පැවැසුවේය.


ශ්‍රී ලංගම සේවක වැටුප් වැඩි කිරීම නිසා මසකට රුපියල් මිලියන 200ක් අමතරව වැයවන බැවින් මේ අමතර මුදල උපයා ගැනීමට සෑම ඩිපෝවක්ම කටයුතු කළ යුතු බවත් එසේ කිරීමට බැරි වුවහොත් පසුගිය කාලයේ මෙන් නියමිත දිනයට වැටුප් ලබාදීමට නොහැකිවනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon