ජනපතිගේ ලිපියට කථානායකගෙන් පිළිතුරක්

  👤  2462 readers have read this article !
By mawbima 2018-11-16

උපතිස්ස පෙරේරා

කථානායකවරයා වශයෙන් ස්වාධීනව කටයුතු කිරීමේ වගකීම තමන්ට සිහිපත් කරදීම ගැන ස්තූතිවන්ත වන බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 122 දෙනකු වෙනුවෙන් පෙනී සිටීම ප්‍රජාතන්ත්‍රවාදීව බහුතරයට කන්දීම මිස පක්ෂග්‍රාහී වීමක් නොව, ප්‍රජාතන්ත්‍රවාදී ශීලාචාර සමාජයේ ස්ථාවරය වන බවත් කථානායක කරු ජයසූරිය මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ඊයේ (15දා) පෙරවරුවේ යවා ඇති ලිපියක සඳහන් කර ඇත.


පාර්ලිමේන්තුවට පෙරේදා ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් අදහස් දක්වමින් කථානායකවරයාට පෙරේදා යොමුකරන ලද ලිපියට පිළිතුරු වශයෙන් කථානායකවරයා විසින් ජනාධිපතිවරයාට යොමුකර ඇති එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරයා විසින් එවන ලද ලිපියේ සඳහන් ව්‍යවස්ථාමය හා අනෙකුත් කරුණු පැහැදිලි කරමින් නීති විශාරදයන්ගේ උපදෙස් මත ඉදිරියේදීද පිළිතුරු එවීමට තමන් අපේක්ෂා කරන බවයි.
කථානායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත යවන ලද එම ලිපියේ මෙසේද සඳහන් වෙයි.


අතිගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති
ජනාධිපති මන්දිරය
කොළඹ
අතිගරු ජනාධිපතිතුමනි,
ඔබතුමන් විසින් මා වෙත යොමු කරන ලද 2018.11.14 දින දරන ලිපිය ලද බව කාරුණිකව දන්වා සිටිමි. ඊයේ (2018.11.14) දින පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු 122 දෙනකු පැමිණ අනුමත කරන ලද යෝජනාව ඔබතුමා විසින් අභියෝගයට ලක් කර ඇති බව පැහැදිලිය. එම මන්ත්‍රිවරුන් 122 දෙනා අතරට එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ද්‍රවිඩ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂවල මෙන්ම නව රජයේ මැති ඇමැතිවරු කිහිප දෙනෙක්ද ඇතුළත් වූහ.


ඔබතුමා 2015 ජනවාරි 08 දින ජනාධිපති පදවියට පත්වීමත් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය පදවියට පත්වීමත් සිදුවූයේ, එදා ජනතාව ලබා දුන් ජනවරම පදනම් කොට ගෙන බව ඔබතුමාට අමතක වීම කනගාටුවට කරුණකි.


ඔබතුමන් සමඟ එක්ව ලංකාවේ විවිධ ප්‍රදේශවල ජනහමු 140කට වඩා ආමන්ත්‍රණය කර අප ජනතාවගෙන් වරමක් ඉල්ලා සිටියේ ඔබතුමන් ජනාධිපති ධුරයට පත් කිරීමත්, ගරු රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය පදවියට පත් කිරීමත් සඳහා බවත් සිහිපත් කරදීම මාගේ යුතුකමක් කොට සලකමි. ඒ අනුව, එදා රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය පදවිය පැවරීම එවක පැවැති රජයේ සියලු දෙනාගේ එකඟත්වයෙන් සිදුවූ බවද ඔබතුමාට සිහිපත් කර දීමට කැමැත්තෙමි.


මෙවර අගමැති පදවිය වෙනස් වූයේ එවන් එකඟතාවකින් හෝ පාර්ලිමේන්තුවේ බහුතරයේ අදහස සැලකිල්ලට ගෙන නොවේ.
2015 ජනවාරි මස 15 දින කථානායක ධුරයට පත් වූ පසු මා එක්සත් ජාතික මූලස්ථානය වන සිරිකොත මන්දිරයට පා තබා නොමැති බව හෘදසාක්ෂියට එකඟව මා හට පැවසිය හැකිය. එමෙන්ම, පක්ෂයේ කිසිම දේශපාලන ක්‍රියාදාමයකට මා සුළු වශයෙන් හෝ සහභාගි වී නැත.


එක් අවස්ථාවක විපක්ෂයේ මන්ත්‍රිවරුනට පාර්ලිමේන්තුවේ වැඩි කාලයක් ලබාදීම පිළිබඳව එ.ජා.ප.ය ප්‍රමුඛ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් මා හට චෝදනා කළ ආකාරයත්, මා වෙනුවට වෙනත් අයකු පත් කර ගත යුතු බවට යෝජනා කළ ආකාරයත් ඔබතුමාට සිහිපත් කර දීමට කැමැත්තෙමි.


ඔබතුමා වැනි පාර්ලිමේන්තුවේ අත්දැකීම් ඇති, පරිණත මහජන නියෝජිතයෙකු මා ඊයේ පාර්ලිමේන්තුවේ ක්‍රියා කළ ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, ස්ථාවර නියෝගවලට හා පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට අනුකූල නොවන බව සඳහන් කිරීම පිළිබඳව මා විමතියට පත් වීමි.


මෙහිදී තමන්ට බහුතරයක් පෙන්වීමේ ශක්‍යතාව නොමැති බව අවබෝධ කරගත් නව රජයේ මැති ඇමැතිවරුන් ප්‍රජාතන්ත්‍රවාදී, පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට නිගරු කරමින්, ස්ථාවර නියෝග පසෙකලා ක්‍රියා කළ ආකාරයද සභාගර්භය මැදට පැමිණ සෙංකෝලය පැහැර ගැනීමට උත්සාහ කරමින්, ඉතාම අශිෂ්ට පහත් වචන පාවිච්චි කරමින් හැසිරුණු ආකාරයද, ගරු මන්ත්‍රිතුමා යන ආමන්ත්‍රණයට කිසි ලෙසකින්වත් සුදුසු නොවේ. ඔවුන් මෙම අශෝභන ක්‍රියාකලාපය තුළින් ස්ථාවර නියෝග අනුව ඡන්ද විමසීම පැවැත්වීමට හිතමතාම බාධා කළ ආකාරයද පාර්ලිමේන්තුවේ පටිගත කරන සංයුක්ත තැටි නැරඹීමෙන් ඔබතුමාට අවබෝධ කර ගත හැකිය.


ඊයේ සම්මත වූ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රිවරුන් 122 දෙනාම සභා ගර්භයේ සිටි බවද මෙහිදී වගකීමෙන් යුතුව සඳහන් කරමි. ඒ පිරිස අතරට රජයේ මැති ඇමැතිවරු කිහිප දෙනෙක්ද අයත් වූහ.


මවිසින් තුන්වරක්ම මෙම ඡන්ද විමසීම නිසි පරිදි පැවැත්වීමට සහාය දෙන ලෙස ගෞරවනීය ආයාචනයක් කළද, එයට කිසිසේත්ම අවස්ථාවක් නොදුන් නිසා 47 (1) ස්ථාවර නියෝග ප්‍රකාරව බහුතරයේ හඬට කන් දෙමින් එම යෝජනාව අති බහුතරයෙන් සම්මත කිරීමට සිදුවිය.


අතිගරු ජනාධිපතිතුමනි,
නොවැම්බර් 26දා ඔබතුමන් ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් රට දැඩි අස්ථාවරභාවයකට පත් වෙමින් පවතී. ආර්ථිකය, ජන ජීවිතය, සංචාරකයන්ගේ පැමිණීම හා අන්තර්ජාතිකව ශ්‍රී ලංකාව ලබා තිබූ කීර්ති නාමයද, දිගු දේශපාලන දිවිය තුළින් ඔබතුමා පෞද්ගලිකව උපයාගත් ගෞරවයද අද ශීඝ්‍රයෙන් පිරිහෙමින් පවතී. දැනට ව්‍යවස්ථාදායකය හා විධායකය අතර අනවශ්‍ය ගැටුමක් නිර්මාණය වී තිබේ.


තවත් කල් නොයවා පාර්ලිමේන්තුවේ බහුතර මතයට කන් දී අප දේශය මෙම ව්‍යසනයෙන් මුදවා ගැනීමට වහාම ක්‍රියා කරන ලෙස සියලු පුරවැසියන් වෙනුවෙන් හා නූපන් අනාගත පරපුර වෙනුවෙන් ගෞරවයෙන් ආයාචනා කරමි. ඔබතුමාගේ ආරාධනය පරිදි අද (15දා) පෙ.ව. 8.30 හමුවීමට නියමිතව තිබුණද ලිපියෙන් සඳහන් ආකල්පය නිරීක්ෂණය කරන විට, එවන් හමුවීමක් පලරහිත බව පක්ෂ නායකයන්ගේ අදහස බව දන්වනු කැමැත්තෙමි.


අවසාන වශයෙන්, අප සැම එක්ව පෙනී සිටි උතුම් යහපාලන පරමාර්ථයන්ගේ නාමයෙන් දශක හතක පරිණත ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස, මෙම වියවුල් සහගත තත්ත්වය සාකච්ඡා මඟින් විස¼දා ගැනීමට හැකි වනු ඇතැයි තවදුරටත් මම දැඩිව විශ්වාස කරන බව ජාත්‍යාලයෙන් යුතුව සිහිපත් කරමි. ඔබතුමා විසින් එවූ ලිපිය මාධ්‍යට නිකුත් කර ඇති හෙයින් මෙම ලිපියද මාධ්‍ය වෙත යොමු කිරීමට කටයුතු යොදා ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon