“ඉස්සරහට ආවොත් මරනවා” තෙවරප්පෙරුම පිහියක් අරන් සභා ගැබේ යකා නටයි

  👤  3062 readers have read this article !
By mawbima 2018-11-16

පාර්ලිමේන්තු සභාගර්භය තුළ මන්ත්‍රිවරුන් අතර ගාලගෝට්ටිය හටගත් අවස්ථාවේ, රන්ජන් රාමනායක සහ පාලිත තෙවරප්පෙරුම මහත්වරුන්ගේ අත්වල අවි තිබුණු බවත්, "ඉස්සරහට ආවොත් මරනවා" යනුවෙන් තර්ජනය කළ බවටත්, පාර්ලිමේන්තු පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවැසීය.


ඉන්දික අනුරුද්ධ මන්ත්‍රිවරයා විසින් මෙසේ පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. අගමැති මහින්ද රාජපක්ෂ මහතාද සභාවේ සිටි අවස්ථාවේ, මේ අන්දමට අවි රැගෙන සභාගැබට ඇතුළුවීම තුළ කුමන්ත්‍රණයක් පවතින බවට සැකපහළවන බවත්, මේ දෙදෙනාගේම අත්වල පිහි දෙකක් තිබුණු බවට ලබාගත් ඡායාරූප පවා තිබෙන බවත් සඳහන් කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා, පාර්ලිමේන්තුවේ සභාගැබ තුළට මෙසේ අවිආයුධ රැගෙන ඒමෙන්, මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳව බරපතළ ප්‍රශ්නයක් ඇති වී තිබෙන බව සඳහන් කළේය.
එසේම පාර්ලිමේන්තුවේ සභාගැබ තුළට ආයුධ ගෙන ආවේ කෙසේ දැයි ඇමැතිවරයා විමසයි.


පාර්ලිමේන්තුවේ ඇති වූ ගුටිබැට හුවාමාරුව නිසා තුවාල ලැබූ දිලුම් අමුණුගම සහ අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රිවරුන් ඊයේ (15දා) ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළේය.


එහිදී දිලුම් අමුණුගම මන්ත්‍රිවරයාට ශල්‍යකර්මයක්ද සිදුකර ඇත. ඔහුගේ එක් අතක ඇඟිල්ලක් කැපී ඇති අතර එම ඇඟිල්ලට ශල්‍යකර්මයක් සිදුකළ බවද වාර්තා වේ. මේ අතර අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රිවරයාද තුවාල ලබා ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon