කරන් බලයෙන් එංගලන්ත පළමු ඉනිම දැල්වෙයි

  👤  2566 readers have read this article !
By mawbima 2018-11-15

විචිත්‍ර වීරසිංහ _ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ සිට...


සංචාරක එංගලන්ත පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි තරගයේ පළමු ඉනිම වෙනුවෙන් එංගලන්තය ලබාගත් ලකුණු 285ට පිළිතුරු සපයන ශ්‍රී ලංකා පිල ඊයේ (14දා) පළමු දිනයේ තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 26ක් ලබා සිටියේය.


ඒ අනුව ශ්‍රී ලංකාව එංගලන්තයට වඩා කඩුලු 9ක් අතැතිව ලකුණු 259ක් පසුපසින් සිටී.


එංගලන්තයේ කඩුලු 9ක් ලකුණු 225කට දැවී ගිය අවස්ථාවකදී අවසන් කඩුල්ල වෙනුවෙන් සෑම් කරන් (64) හා ජේම්ස් ඇන්ඩර්සන් (නොදැවී 07) ගොඩනැඟූ ලකුණු 61ක සබඳතාව හේතුවෙන් ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට එංගලන්තයට හැකි වීම කැපී පෙනුණු අතර, තම 3 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලෙස සෑම් කරන් ලැබූ ලකුණු 64 එංගලන්ත පළමු ඉනිමේ පිතිකරුවකුගේ වැඩිම ලකුණු සංඛ්‍යාව බවටද පත්විය.


කෙසේ වෙතත් සෑම් කරන් එක් ලකුණක් ලබා සිටියදී ස්ටම්ප් කිරීමකට හසු කරගැනීමට තිබූ පහසු අවස්ථාවක් දික්වැල්ලගෙන් ගිලිහී ගිය අතර එසේ නොවන්නට එංගලන්තයේ ඉරණම මෙයට වඩා වෙනස් ස්වරූපයක් ගැනීමට ඉඩ තිබිණි.


ඊයේ පළමු දිනය නිමා වීම සඳහා පන්දුවාර 12ක් තිබියදී පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වූ දිමුත් කරුණාරත්න හා කෞෂාල් සිල්වා එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 22ක සබඳතාවක් එක්කරමින් සිටියදී කෞෂාල් සිල්වා ලකුණු 6කට ලීච්ගේ ගොදුරක් බවට පත්විය. දිනය නිමා වන විට දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 19ක් හා සැ¼දෑ ආරක්‍ෂකයා ලෙස පිටියට පිවිස මාලින්ද පුෂ්පකුමාර නොදැවී එක් ලකුණක් ලබා සිටියේය.


දඟ පන්දු යවන්නන්ට උචිත තණතීරුවක කාසියේ වාසිය දිනා පළමුව ලකුණු රැස්කිරීමට පිටියට පිවිසි එංගලන්ත ආරම්භක පිතිකරුවන් අතුරින් කේටන් ජෙනින්ස් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක සුරංග ලක්මාල් විසින් තරගයේ යැවූ පස්වැනි පන්දුවාරයේ තෙවැනි පන්දුවට කඩුලු රකින දික්වැල්ල අතට උඩපන්දුවක් ලබාදීමෙන් දැවී යන විට එංගලන්ත ලකුණු පුවරුව ලකුණු 7ක් විය.


ඉන් අනතුරුව එංගලන්ත පිතිකරණ අනුපිළිවෙළේ උසස් වීමක් සහිතව පැමිණි බෙන් ස්ටොක්ස් කණ්ඩායමේ අනෙක් ආරම්භක පිතිකරු රොරී බර්න්ස්ට එකතු වෙමින් එංගලන්ත ලකුණු පුවරුව සෙමින් සෙමින් ඉහළට රැගෙන එද්දී තෙවැනි විනිසුරුවරයාගේ සහායෙන් බෙන් ස්ටොක් ලකුණු 19කට ක්‍රීඩාගාරයට හරවා යැවීමට දිල්රුවන්ට හැකි විය.
කෙසේ වෙතත් ඉන් අනතුරුව ජෝ රූට් ලකුණු 14ක් ලබා සිටියදී පුෂ්පකුමාරටත්, බර්න්ස් ලකුණු 43ක් ලබා සිටියදී අකිල ධනංජයගේ ගොදුර බවට පත්වන විට එංගලන්ත ලකුණු පුවරුව කඩුලු 4කට ලකුණු 89ක් ලෙස දැක්විණි.


කඩා වැටුණු එංගලන්ත ඉනිම ගොඩගැනීමේ එක් නියමුවකු බවට පත්වූ ජොස් බට්ලර්ට එකතු වූ මොයින් අලී පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 45ක සබඳතාවක් එක්කරමින් සිටියදී අලී ලකුණු 10කට පුෂ්පකුමාර හමුවේ දැවීයෑමත් සමඟම එංගලන්තය අමාරුවේ වැටිණි. අනතුරුව බට්ලර්ට එකතු වූ බෙන් ෆෝක්ස් වේගයෙන් ලකුණු රැස් කිරීමට සූදානම් වුවද ෆෝක්ස් ලකුණු 19ක් ලබා සිටියදී දිල්රුවන් ඉදිරියේ දැවී යෑමත් සමඟ එම උත්සාහයද දියවී ගියේය.


ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට බලවත් හිසරදයක් බවට පත්වූ බට්ලර් ලකුණු 63ක් ලබා සිටියදී පුෂ්පකුමාරගේ පන්දුවකට කරුණාරත්න අතට උඩපන්දුවක් ලබාදී දැවී යන විට එංගලන්ත ලකුණු පුවරුව කඩුලු 7කට ලකුණු 171ක් බවට පත්විය. මේ අවස්ථාවේදී සෑම් කරන්ට එකතු වූ අදිල් රෂීඩ් 8 වැනි කඩුල්ල වෙනුවෙන් එක්කළ ලකුණු 45ක සබඳතාව හා සෑම් කරන් හා ජේම්ස් ඇන්ඩර්සන් අවසන් කඩුල්ල වෙනුවෙන් ගොඩනැඟූ ලකුණු 61ක සබඳතාව හේතුවෙන් ලකුණු 280න් ඔබ්බට යෑමට එංගලන්තයට හැකිවිය.


එහිදී පන්දු 119කට මුහුණ දී එක් හතරේ පහරක් හා හයේ පහර 6ක් සමඟින් අගනා වටිනා ලකුණු 64ක් ලබාගැනීමට සෑම් කරන්ට හැකි වූ අතර, එය ඔහුගේ ටෙස්ට් දිවියේ තෙවැනි අර්ධ ශතකය බවටද පත්විය. දිල්රුවන් පෙරේරා කඩුලු 4ක් හා මාලින්ද පුෂ්පකුමාර කඩුලු 3 ක් ලබා එංගලන්තය දැඩි පීඩනයකට ලක්කළ පන්දු යවන්නෝ බවට පත්වූහ.
ඡායාරූප - වෙනුර
චන්ද්‍රමාලිත

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon