වෛද්‍ය ප්‍රතිකාර සඳහා නියෝජ්‍ය පොලිස්පති නාලක සුදුසු රෝහලකට යොමු කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග

  👤  2630 readers have read this article !
By mawbima 2018-11-15

අමිල අබේරත්න


ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමේ සැලසුම සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත කොට සිටින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඔහුගේ වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති පරිදි ඔහුට පුරුදු වෛද්‍යවරුන්ට සහ සුදුසු රෝහලකට යොමු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස මැගසින් බන්ධනාගාරයේ අධිකාරිවරයාට කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (14දා) නියම කළේය.


මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාට කාලයක සිට බෙල්ලේ සහ අතේ අමාරුවක් තිබෙන බවටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු එම තත්ත්වය වැඩි වී තිබෙන බවටත් ඔහු බරපතළ ලෙස දුම් පානය කරන තැනැත්තකු වීම මත ඔහුට හෘදයාබාධ දෙකක් ඇති වී තිබීමත් යන කාරණා මත ප්‍රතිකාර ලබා ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිය විසින් නීතිඥයකු මාර්ගයෙන් ඉදිරිපත් කර තිබූ දිවුරුම් ප්‍රකාශයක් සලකාබැලූ අවස්ථාවේදීය.
අධිකරණ සේවා කොමිෂන් සභා චක්‍රලේඛ අනුව ඉල්ලීම පිළිබඳව විශේෂිත නියෝග ලබාදීමට හැකියාවක් නොමැති බවත් එසේ වුවද බන්ධනාගාර අධිකාරිවරයාගේ අවධානය සඳහා නියමයක් කළ හැකි බවත් දන්වා සිටිමින් මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.


සිද්ධියට අදාළව සැකකරුවකු වන නියෝජ්‍ය පොලිස්පතිවරයාට ප්‍රතිකාර ලබාදෙන ආකාරය පිළිබඳව වාර්තාවක් සමඟ ඉදිරි නඩු දිනයේ අධිකරණයේ පෙනී සිටින ලෙසද මහෙස්ත්‍රාත්වරයා මැගසින් බන්ධනාගාරයේ අධිකාරිවරයාට නියෝග කළේය.


නියෝජ්‍ය පොලිස්පතිවරයා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ප්‍රධානියා වීම මත ඔහුව අනෙක් සැකකරුවන් සමඟ රඳවා නොතබා උසාවියට ඉදිරිපත් කිරීම පිළිබඳව මැගසින් බන්ධනාගාරයේ අධිකාරිවරයා තමා සමඟ සාකච්ඡා කළ බවද කොටුව මහෙස්ත්‍රාත්වරයා දන්වා සිටි අතර ඒ අනුව බන්ධනාගාර බස් රථයේ රඳවා තබාගෙන බන්ධනාගාරයේ සිට හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට තමා දැනුම්දුන් බවද කොටුව මහෙස්ත්‍රාත්වරයා දන්වා සිටි අතර නඩුවට අදාළව සවස්වරුවේ නිශ්චිත වේලාවක් තුළ නියෝජ්‍ය පොලිස්පතිවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියම කරන බවද මහෙස්ත්‍රාත්වරයා දන්වා සිටියේය.


නඩුව මේ මස 21 වැනිදා කැඳවීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon