පහළින් තිබූ ගලට බැස ආපසු උඩට එද්දී මිතුරිය පහළට වැටුණා

  👤  2686 readers have read this article !
By mawbima 2018-11-15

බළන්ගෙඩ - පියසේන එන්. හේවගේ


"මමත් මාගේ මිතුරියක වූ ජුලියා එල්ගා සමඟ මේ මස 03දා ලංකාවට පැමිණියේ සංචාරයක් සඳහායි. අප දෙදෙනාම එකම රෝහලක හෙදියන් ලෙස කටයුතු කරනවා. එසේ පැමිණ පළමු දිනයේ මීගමුවේ හෝටලයක නතර වුණා. ඉන්පසු සීගිරිය, දඹුල්ල, පොළොන්නරුව අනුරාධපුරය, ඇතුළු ප්‍රදේශවල සංචාරය කරමින් සතියක් ගෙව්වා.


ඉන්පසු පසුගිය 10දා නුවරඑළියට ගොස් රාත්‍රි හෝටලයක නතර වී පසුදා (11දා) අලුයම 5.00ට පමණ හෝර්ටන්තැන්න බලා පිටත් වුණා. අපේ මෙම සංචාරය සඳහා පළමු දිනයේ සිට නීල් ප්‍රේමතිලක නමැති රියැදුරු මහතා එක්වුණා.

මෙදින (11දා) පෙරවරු 7.00ට ලෝකාන්තය බැලීමට අපි දෙදෙනා ටිකට්පත් ලබාගෙන ඇතුළු වුණා. රියැදුරා පිවිසුම් ස්ථානයේ නතර වුණා. පැයක් පමණ මෙහි ගත කළා, ලෝකාන්තයේ පහළ හොඳින් බැලීමට යැයි කියා අඩි දෙකක් පමණ පහළින් තිබූ ගලට බැස යළි ආපසු උඩට එන්න උත්සාහ කරද්දී මාගේ මිතුරිය පහළට වැටුණා. වහාම මම වනෝද්‍යානය භාර නිලධාරීන්ට මේ බව දැන්වූවා. අපි සෙල්ෆි ගන්න ගියේ නැහැ. අපි දෙදෙනාගේම කැමරා ෆෝන් දෙක මගේ අතේ තිබුණා" යැයි ජර්මන් ජාතික නිනන් රෙබයා (33) නමැති හෙදිය පැවැසුවාය.


ලෝකාන්තයෙන් පහළට වැටී මිය ගිය ජර්මන් ජාතික හෙදියක වූ ජූලියා එල්ගා (35) නමැති අයගේ මරණ පරීක්ෂණයේදී ඇයගේ මිතුරිය ඉහත ප්‍රකාශය කළාය.
බෙලිහුල්ඔය හදිසි මරණ පරීක්ෂක එස්.එම්.අයි.ඩී. සෙනෙවිරත්න මහතාට බළන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලැබුණු නියෝගයක් මත ඔහු මෙම මරණ පරීක්ෂණය පැවැත්වීය.


ඔවුන් පැමිණි වාහනයේ රියැදුරු නීල් ප්‍රේමතිලක මහතා සාක්ෂි දෙමින් මෙසේ කියා සිටියේය.


"සිද්ධිය වූ දින පෙරවරු 7.00ට පමණ සංචාරක කාන්තාවන් දෙදෙනා ලෝකාන්තය බලන්න ගියා. මම ගේට්ටුවෙන් පිට තිබූ ආපන ශාලාවක තේ බොමින් හිටියා. මේ වනවිට වෙලාව පෙරවරු 8.30ට පමණ ඇති. මට ඇසුණා උද්‍යානයේ නිලධාරියකු විසින් රේඩියෝ පණිවුඩයක් දෙනවා. එහි සඳහන් වූයේ විදේශීය කාන්තාවක් පහළට වැටුණා කියායි. මම වහාම ඇතුළට ගොස් සොයා බැලුවා. ඉන් පසු සිද්ධිය පැමිණිලි කිරීමට පට්ටිපොළ පොලිසියට ගියා."


සමනල වැව පොලිස් මුරපොළේ ස්ථානාධිපති උ.පො.ප. ලෝරන්ස් ප්‍රනාන්දු, පො.කො. නුවන් (39498), පො.කො. රූපසිංහ (67930) යන මහත්වරු සාක්ෂි මෙහෙය වූහ.
පශ්චාත් මරණ පරීක්ෂණය බළන්ගොඩ මූලික රෝහලේ විශේෂඥ
අධිකරණ වෛද්‍ය නිලධාරි එල්.කේ.සී.ඩී. ආරියරත්න මහතා විසින් සිදු කරන ලදී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon