හම්බන්තොට ලුණු ලේවායේ හිටපු සභාපති ඇතුළු තිදෙනකුට මැර ප්‍රහාරයක්

  👤  2644 readers have read this article !
By mawbima 2018-11-15

මත්තල - ඩී.එන්. ජයසේකර


හම්බන්තොට ලුණු ලේවායේ හිටපු සභාපති ආයුබ්ඛාන් මහතා ඇතුළු තිදෙනකුට ඊයේ (14දා) දහවල් 1.30ට පමණ ලුණු ලේවාය අසලදී කිසියම් පිරිසක් විසින් පහරදී ඇතැයි හම්බන්තොට පොලිසිය පවසයි.


මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ හම්බන්තොට ලුණු ලේවායේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අයුබ්ඛාන් (56), හිටපු සභාපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරියකු ලෙස කටයුතු කළ බුන්දල, වැලිගත්ත පදිංචි වීරප්පුලි ගමගේ ශි්‍රයානන්ද (59) හා මහලේවාය, හම්බන්තොට පදිංචි සහකාර
ආරක්ෂක නිලධාරියකු ලෙස කටයුතු කළ තුෂින් චින්තක අමරවීර (43) යන තිදෙනායි.


පහරකෑමට ලක්වූ හිටපු සභාපතිවරයා ඇතුළු තිදෙනා සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
පහරකෑමට ලක්වූ හිටපු සභාපති ආයුබ්ඛාන් මහතාගෙන් අප කළ විමසීමකදී මෙසේ පැවැසීය.


"ලුණු ලේවායේ සභාපතිවරයා මමයි. මට කිසිදු දැනුම්දීමකින් තොරව පෙරේදා (13දා) ලුණු ලේවායට නව සභාපතිවරයකුත් පත් කර තිබෙනවා. ඒ මොන පත් කිරීම කළත් තවමත් නීත්‍යනුකූල සභාපති මමයි. මම ඊයේ (14දා) දහවල් ලුණු ලේවායට ගියේ එහි ඇති වූ බව කියන නොසන්සුන්කාරී තත්ත්වයක් සම්බන්ධයෙන් සොයා බැලීමටයි. ලේවාය ඇතුළේ ඊයේ (14දා) පෙරවරුවේ පිටතින් ආව පිරිසක් එක්ව විරෝධතාවක් පවත්වලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයා මට දුරකථනයෙන් කතා කරලා කිව්වා වහාම ලේවායට ගිහින් ඒ තත්ත්වය පිළිබඳව සොයා බලා


ආරක්ෂක අංශවලට උපදෙස් දෙන ලෙස. ඒ අනුව තවත් දෙදෙනකුත් එක්ක ලුණු ලේවායේ ප්‍රධාන පිවිසුමේ සිටින ආරක්ෂක නිලධාරීන් හමුවෙලා ඒ අයට උපදෙස් දුන්නා ලේවාය පරිශ්‍රයට පිටතින් පැමිණෙන කිසිවකුටත් ඇතුළුවෙන්න දෙන්න එපා කියලා. එහෙම කියලා එනකොට තමයි මේ මැර ප්‍රහාරය එල්ලවුණේ. මේ සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසියට පැමිණිල්ලක් සිදු කළා. පැමිණිල්ලට සාධාරණයක් වේවි කියලා බලාපොරොත්තු වෙනවා."
පහරදීම සම්බන්ධයෙන් පොලිසියට ලද පැමිණිල්ලට අනුව හම්බන්තොට මූලස්ථාන පොලිසිය විමර්ශන පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon