ස්ථාවර නියෝග අත්හිටුවමින් ආණ්ඩුවට බහුතරය නැතැයි කථානායක කටහ¾ඩින් තීන්දු කරයි

  👤  2594 readers have read this article !
By mawbima 2018-11-15

සැසි වාරයක් ආරම්භයේදී අනුගමනය කරන සම්ප්‍රදාය පසෙකලා ස්ථාවර නියෝග අත්හිටුවමින්, පත් කළ මන්ත්‍රි අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ යෝජනාවට අනුව වත්මන් ආණඩුවට බහුතරයක් නොමැති බව කථානායක කරූ ජයසූරිය ඊයේ (14දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.


කථානායකවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කෙළේ, කටහඬ අනුව වත්මන් ආණ්ඩුවට බහුතරයක් නොමැති බව හැඟී යන බැව් ප්‍රකාශ කරමිනි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් වාර අවසන් කරන ලද පාර්ලිමේන්තුව නැවත කැඳවීමේ නිවේදනය පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා විසින් සභාවට ඉදිරිපත් කරන ලදී.


අනතුරුව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් සභාව කල්තබන බවට යෝජනාවක් ඉදිරිපත් කෙරිණි.
එහිදි කථානායකවරයා සඳහන් කළේ රටේ තීරණාත්මක වෙලාවක ඒ සඳහා ඉඩ ලබාදිය නොහැකි බවත්, ස්ථාවර නියෝග අත්හිටුවා බහුතරය කාටදැයි සභාවේ කැමැත්ත අනුව විමසිය යුතු බවත්ය.


ඊට ආණ්ඩු පක්‍ෂ මැති ඇමැතිවරු දැඩි විරෝධයක් දක්වන්නට වූහ.


ඒ අවස්ථාවේ නැඟී සිටි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් යෝජනා කළේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවා අද දින සභාවේ වැඩකටයුතු සිදුකරගෙන යා යුතු බවය.


ඒ සඳහාද සභාවේ කැමැත්ත විමසීමට කථානායකවරයා තීරණය කළ අවස්ථාවේ විපක්‍ෂයේ මන්ත්‍රිවරු නැඟී සිටිමින් අත් ඔසවමින් කැමැත්ත පළ කර සිටියහ.
"අද දින පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් අතට පත්වෙලා තියෙන න්‍යාය පත්‍රයේ මේ කිසිවක් නෑ. ඒ නිසා දැන් සභාව කල් තියන්න ඕනෑ" සභානායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා කීවේය.


"නෑ නෑ එහෙම කරන්න බෑ. මම කිසිම තීන්දුවක් ගන්නේ නෑ. සභාවෙන් මතය අහමු. ඉවරයිනේ. හරි .. ස්ථාවර නියෝග අත්හිටුවීමට එකඟද" කථානායකවරයා සභාවෙන් විමසූ අවස්ථාවේ ආණ්ඩු පක්‍ෂ මැති ඇමැතිවරු ඝෝෂා කරන්නට වූහ.


ඝෝෂාව මැදින් කථානායකවරයා කීවේ හඬ අනුව ස්ථාවර නියෝග අත්හිටුවා සභාවේ ඉදිරි වැඩකටයුතු කිරීමට සභාවේ එකඟතාව ඇති බවයි.


ඉන් අනතුරුව විජිත හේරත් මන්ත්‍රිවරයා විසින් වත්මන් අගමැතිවරයාට සහ ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් මහ ලේකම්වරයාට භාරදීමට කටයුතු කළේය.
ඒ අවස්ථාවේ කථානායකවරයා කීවේ, ඒ සඳහාද සභාවේ ඡන්දයක් විමසිය යුතු වන අතර, බහුතරය කාටදැයි තීරණය කළ යුතු බවය. පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් ඒ මොහොතේ විජිත හේරත් මන්ත්‍රිවරයා ලබාදුන් යෝජනාවේ පිටපතක් ලබා දෙන්නැයි කථානායකවරයා ඒ අවස්ථාවේ කීවේය.


එම යෝජනාව ගැන ඡන්ද විමසීමකට යා යුතු යැයි කථානායකවරයා නිවේදනය කළේ එම යෝජනාවේ පිටපතක් හෝ එහි කුමක් සඳහන් වන්නේ දැයි හෝ නොදැන වීමද විශේෂත්වයකි.


අනතුරුව අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයා විසින් එම යෝජනාව සභාවට ඉදිරිපත් කළ අතර, ආණ්ඩු පක්‍ෂ මැති ඇමැතිවරු ඊට විරුද්ධව ඝෝෂා කරමින් කථානායකවරයාට දැඩි වාග් ප්‍රහාර එල්ල කරන්නට වූහ.

 

එහෙත් මන්ත්‍රිවරයා ඝෝෂාව මැදින් එම යෝජනාව සභාවට ඉදිරිපත් කළේය.


"2018 ඔක්තෝබර් 26 වැනි දින අංක 2094/43, 2094/43ඒ සහ 2094/44 දරන අතිවිශේෂ ගැසට් නිවේදන සහ එහි සඳහන් නියෝගයන් සහ පත්කිරීම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වන බවත්, නීතිය ඉදිරියේ ශූන්‍ය සහ බල රහිත වන බවත්, නීතිය ඉදිරියේ කිසිදු බලයක් හෝ වලංගුභාවයක් නොමැති බවත් ඉහත සඳහන් හේතූන් නිසා 2018 ඔක්තෝබර් 26 වැනිදා හෝ ඉන් පසුව හෝ පත්කළ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා කැබිනට් මණ්ඩලය හා එලෙස පත් කරන ලද ආණ්ඩුව කෙරෙහි කිසිදු විශ්වාසයක් නොමැති බවත්, යෝජනා කරන" බැව් අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයා කීවේය.


අනතුරුව විජිත හේරත් මන්ත්‍රිවරයා විසින් එම යෝජනාව ස්ථිර කරන ලදී.


ඒ අවස්ථාවේ ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රිවරුන් වන ප්‍රසන්න රණවීර, පද්ම උදය ශාන්ත, ආනන්ද අලුත්ගමගේ, මහින්දානන්ද අලුත්ගමගේ, ඩිලාන් පෙරේරා, නිමල් ලන්සා, ලොහාන් රත්වත්තේ, ඩී.වී. චානක ඇතුළු පිරිසක් සභා ගැබ මැදට පැමිණ කථානායකවරයාට විරුද්ධව කෑ ගසන්නට වූහ.


"මට බැන්නට කමක් නෑ. මම මේ කරන්නේ ජනතා කැමැත්තට ඉඩදීම. දැන් සීනුව නාද කරන්න. අපි ඡන්දයකට යනවා. හැමෝම වාඩිවෙන්න" කථානායකවරයා කීවේය.
ඒ අවස්ථාවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පැමිණ සෙංකෝලය සියතට ගෙන කථානායක අසුන වෙත රැගෙන ගියේය.


"සෙංකෝලය නෑ. මේවා වලංගු නෑ" ආණ්ඩුවේ මන්ත්‍රිවරු කෑ ගසන්නට වූහ.


" නෑ නෑ සෙංකෝලය මා ළඟ තියෙනවා. මම සෙංකෝලය පිළිගන්නවා. සීනුව නාද කරන්න" කථානායක කීවේය.


අනතුරුව ආණ්ඩු පක්‍ෂ මැති ඇමැතිවරු සභාවේ මැදට පැමිණ කථානායකවරයා දෙස බලමින් "පිස්සා.. පිස්සා.." යැයි මහ හයියෙන් කෑ ගැසූහ.
"කරුණාකරලා වාඩිවෙන්න. මට කට හ¾ඩින් ඡන්දය ගන්න වෙනවා. නැත්නම් කරුණාකරලා වාඩි වෙන්න." කථානායකවරයා කීවේය.


"ලෝකේ කොහෙද මෙහෙම වෙන්නේ. විශ්වාසභංගයක් ගේන විදියක් තියෙනවා පාර්ලිමේන්තු සම්ප්‍රදාය කනවා. ලැජ්ජයි කරු" ආණ්ඩු පක්‍ෂ මැති ඇමැතිවරු කීහ.
"හරි... මම හඬ අනුව ඡන්දය ගන්නවා. කරුණාකරලා වාඩිවෙන්න" කථානායකවරයා යළිත් කීවේය.


සෙංකෝලය ඒ අවස්ථාවේද තිබුණේ එය තබන ස්ථානයේ නොව වේත්‍රධාරියාගේ අතේය.
"හරි අපි නාමිකව ඡන්දය ගමු" කරුණාකරලා වාඩි වෙන්න යැයි කථානායකවරයා යළිත් කීවේය.


එහෙත් ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රිවරු සභාවේ මැදට වී සිටියහ. පසුව කථානායකවරයා හඬ අනුව ඡන්දය ලබාගත්තේය.
"හොඳයි හඬ අනුව වත්මන් ආණ්ඩුවට බහුතර බලයක් නොමැති බව මම කියනවා." යැයි කථානායකවරයා නිවේදනය කළේය.


අනතුරුව පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00 දක්වා කල් තැබුණි. කථානායකවරයා පිටව ගියේ ආණ්ඩු පක්‍ෂ මැති ඇමැතිවරුන්ගේ . "හූ" හඬ මධ්‍යයේය.
ඉන් අනතුරුව විරුද්ධ පක්‍ෂයේ මන්ත්‍රිවරු සභා ගැබ මැදට පැමිණ "ජය වේවා" කියමින් පී්‍රති ඝෝෂා කළහ.
ඔවුන් "ප්‍රජතාන්ත්‍රවාදය උදෙසා" යනුවෙන් සටහන් කරන ලද කළු පටි පැලැඳ සිටිනු දක්නට ලැබිණ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon