ගාල්ලේදී ලබාගත් ජවය ඉදිරියටත් ගෙන යනවා

  👤  2119 readers have read this article !
By mawbima 2018-11-14

විචිත්‍ර වීරසිංහ _

මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ සිට..

තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා-එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩා පිටියේදී අද (14දා) පැවැත්වීමට නියමිතව ඇති අතර, මෙය දෙපිල අතර මෙම පිටියේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ලෙසටද වාර්තා පොත් අතරට එක්වෙයි.

යම් හෙයකින් අද පැවැත්වෙන තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වුවහොත් එංගලන්ත කණ්ඩායමක් හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමක් මෙරටදී ටෙස්ට් තරගාවලියක් පරාජය වන්නේ වසර 17කට පසුව වීමද විශේෂත්වයකි. ඒ අනුව 2001 වසරේදී කණ්ඩායම් දෙක අතර මෙරටදී පැවැති තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙස ජයගැනීමට එංගලන්තය සමත් වී ඇත.

වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකා කණ්ඩායමේ ගැලවුම් කාරයා බවට පත්වූ රංගන හේරත් නොමැතිව අද තරගයට ශ්‍රී ලංකා පිල මුහුණ දෙන්නේ කෙසේද යන්න ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩබලන නායකයා බවට පත්ව සිටින සුරංග ලක්මාල් පැවැසුවේ හේරත් හා චන්දිමාල් වෙනුවට ආදේශ දෙකක් යොදවා ඇති බවත්, තරගය පිළිබඳව යහපත් මානසිකත්වයක් කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් සතුව ඇති බවත්ය.

"චන්දිමාල් වෙනුවට පිතිකරණ අංශයට යොදවා තියෙන චරිත් අසලංක හා රොෂේන් සිල්වාගෙන් හෝ රංගන වෙනුවට නම් කරලා තියෙන ලක්‍ෂාන් සඳකැන් හා මලින්ද පුෂ්පකුමාරගෙන් අවසන් එකොළොස් දෙනාට තෝරගන්නේ කවුද කියලත් තවම තීරණය කරලා නැහැ. ඒත් කණ්ඩායමේ දැනට මේ වෙනස්වීම් දෙක විතරයි වෙන්නේ" යැයි පැවැසූ ශ්‍රී ලංකා නායකයා මෙය දඟ පන්දු යවන්නන්ට උචිත තණතීරුවක් බැවින් එක් වේගපන්දු යවන්නෙකු පමණක් යොදවා ගැනීමට අපේක්‍ෂා කරන බවද කීය.

"ඒ වගේම අකිල ධනංජයට පන්දු යැවීමට තහනමක් නැති නිසා ඔහු හෙට (අද) තරගයට ක්‍රීඩා කරාවි. කොහොම වුණත් අපි අපේ පිතිකරණ අංශය ගැන මෙයට වඩා සැලසුමක් සකස් කරගෙනයි ඉන්නෙ. ඔවුන් ඔවුන්ගේ වගකීම් ඉෂ්ටකරන බවට මම විශ්වාස කරනවා"

කෙසේ වෙතත් මේ වනවිටත් අපේක්‍ෂිත රිද්මයකට පැමිණ නොසිටින කුසල් මෙන්ඩිස් සම්බන්ධයෙන් "මව්බිම" ඇසූ ප්‍රශ්නයට පිළිතුරු සැපයූ ශ්‍රී ලංකා නායකයා පැවැසුවේ කුසල් හෙට (අද) තරගයේදී ලකුණු අතරට පිවිසිය හැකි බවයි. "සෑම ක්‍රීඩකයෙක්ම යම් කාලයකදී අසාර්ථක වෙන එක සාමාන්‍ය දෙයක්. ඒත් වෙනදට වඩා කුසල් දැන් හොඳ මානසික මට්ටමක ඉන්නවා. මේ තරගයේදී ඔහු හොඳ ඉනිමක් ක්‍රීඩා කරාවි" යනුවෙන්ද ශ්‍රී ලංකා නායකයාගේ අදහස විය. තවද මේ වනවිට විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් කර සිටින ළහිරු කුමාර සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදී ශ්‍රී ලංකා නායකයාගේ අදහස වූයේ කණ්ඩායමේ විනය නීති පද්ධතියක් ඇති බවත්, ඒ අනුව කවුරුන් වුවත් විනය කඩකළොත් දඬුවම් විඳිය යුතු බවත්ය.

මේ අතර අද තරගය සම්බන්ධයෙන් ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එංගලන්ත කණ්ඩායමේ නායක ජෝ රූට් පැවැසුවේ, තණතීරුව දඟ පන්දු යවන්නන්ට යෝග්‍ය තණතීරුවක් බව පෙනී යන බැවින් දඟ පන්දු යවන්නන් තිදෙනකු සමඟ තරගයට පිවිසෙන බවය.

"පළමු තරගය ගාල්ලේදී ජයගත්ත නිසා කණ්ඩායමේ සියලුම දෙනා යහපත් මානසිකත්වයකින් ඉන්නවා. ඒක ‍ෙඓතිහාසික ජයග්‍රහණයක්. එම තරගයේදී ලබාගත් ප්‍රගතිය රඳවාගනිමින් ඉදිරි තරගත් ඉතා හොඳින් නිම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අකිල ධනංජයගේ පන්දු යැවීම සම්බන්ධයෙන් අපිට ප්‍රශ්නයක් තිබුණේ නැහැ. අපි කවුරුත් ඒ සම්බන්ධයෙන් කතා කළේවත් නැහැ. කොහොම වුණත් ඔහු ඒ චෝදනාවෙන් නිදහස් වේවි කියලා අපි හිතනවා" යැයිද එංගලන්ත නායකයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව මෙම ක්‍රීඩා පිටියේදී ටෙස්ට් තරග 6කට සහභාගි වී තරග දෙකක් පරාජයට පත්වී එක් තරගයක් ජයගෙන ඇති අතර, තරග තුනක් ජය පැරදුමෙන් තොරව අවසන් කරගෙන තිබීමද විශේෂත්වයකි.

ඡායාරූප - වෙනුර චන්ද්‍රමාලිත

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon