අයි.සී.සී.යෙන් ලොකුහෙට්ටිගේටත් දඬුවම්

  👤  2129 readers have read this article !
By mawbima 2018-11-14

ශ්‍රී ලංකාවේ හිටපු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ හට ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.) පියවර ගෙන ඇත. ඒ අනුව පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වුණු ටී-10 පන්දුවාර 10 ක්‍රිකට් තරගාවලියේදී ක්‍රිකට් ක්‍රීඩාවේ ආචාරධර්ම කඩකරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇති අතර එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ මර්දන ආචාරධර්ම කඩ කිරීම ඔහුට එරෙහිව ක්‍රිකට් තහනම පැනවීමට හේතු වී ඇත.

තරග පාවාදීමට උත්සාහ කරන කණ්ඩායමක කොටස්කරුවකු වීම, තරග පාවාදීම් සඳහා ක්‍රීඩකයන් සෘජුවම පෙලඹවීම, තරග පාවාදීම් සඳහා අනුබල දීම සහ අයි.සී.සී. දූෂණ මර්දන ඒකක නිලධාරීන් වෙත තරග පාවාදීම් සම්බන්ධයෙන් තොරතුරු ලබා නොදීම හෝ නිශ්චිත හේතුවකින් තොරව එම තොරතුරු ලබා දීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාවලට හේතු වී ඇති කරුණු වශයෙන් දක්වා ඇත. තවද මෙම චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ඇත්නම් නොවැම්බර් 13 වැනිදා (ඊයේ) සිට දින 14ක කාලයක් ඇතුළත එම කරුණු ඉදිරිපත් කළයුතු බව අයි.සී.සී.ය ඔහුට දැනුම් දී ඇත.

මේ අතර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු මෙන්ම ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපතිවරයකුද වන සනත් ජයසූරියට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පන්දු යැවීමේ පුහුණුකරුවකු ලෙසින් කටයුතු කරන ලද නුවන් සොයිසාගෙන් පසු අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයෙන් චෝදනා එල්ල වූ තෙවැනි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා දිල්හාර ලොකුහෙට්ටිගේ වීම විශේෂත්වයකි.

කෙසේ වෙතත් දිල්හාර ලොකුහෙට්ටිගේ ටී-10 පන්දුවාර 10 ක්‍රිකට් තරගාවලියේදී කිසිදු කණ්ඩායමක් නියෝජනය නොකළ අතර කිසිදු කණ්ඩායමක පුහුණු කාර්ය මණ්ඩල සාමාජිකත්වයක් නොදැරීමද කැපී පෙනෙන සිදුවීමකි. වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වන 38 හැවිරිදි දිල්හාර ලොකුහෙට්ටිගේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 9කට සහ විස්සයි - 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරග 2කට සහභාගි වී තිබෙන අතර මීට පෙර අල් ජසීරා රූපවාහිනි සේවය විසින් හෙළිකරන ලද ක්‍රිකට් තරග පාවාදීමේ පුද්ගලයන් අතර ලොකුහෙට්ටිගේ පිළිබඳවද සඳහන් කෙරිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon