කැකිරාවෙන් පාර්ලිමේන්තු ගිය එජාප නියෝජිතයා රටට තියා ගමටවත් වැඩක් කළේ නැහැ -සේනාධිරියාගම විමලජෝති හිමි

  👤  2157 readers have read this article !
By mawbima 2018-11-14

කැකිරාව - සිරි කුමාරසිංහ

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ නිදහසේ හුස්ම ගත්ත වසර තුනක් කිව්වාට අපේ මිනිස්සු නිකම් ගත්ත හුස්ම ටිකටත් බදු ගැහුව්වේ නැති එක පුදුම සහගත බවත් ශාසනයට ගමට රටට කිසිදු වැඩක් නැති නියෝජිතයෙක් කැකිරාව ආසනයේ සිටීම අභාග්‍යයක් බවත් කැකිරාව දේවතිස්ස රාජමහා විහාරයේ විහාරාධිපති සේනාධිරියාගම විමලජෝති හිමියෝ පැවැසූහ.

උන්වහන්සේ මේ බව කියා සිටියේ ශ්‍රී සූරියගම විහාරස්ථානයේ කැකිරාව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලය විසින් කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවකදීය. මේ වන විට කැකිරාවේ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයා ස්වාමීන් වහන්සේ නමකට ගරු කරන්නේ නැති, හාමදුරුවන්ට වඳින්නේ නැති, ගිලන් පස කෝප්පයක් දෙන්නේ නැති, රටට ගමට වැඩක් නැති නායකයෙක් බවට පත් වී ඇති බව තමන් නොබියව ප්‍රකාශ කරන බව විමලජෝති හිමියෝ කියා සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමලජෝති හිමියෝ මෙසේද පැවැසූහ.

මම පසුගිය කාලයේ කැකිරාව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරයාගේ ජය තහවුරු කරන්නට කටයුතු කළා. නමුත් මේ නායකයා කිසිදු වැඩක් නැති නායකයෙක්. පාර්ලිමේන්තුවට ගිහින් ගමට යමක් කළේ නැහැ. මම දවසක් හම්බ වෙන්න ගියා ගිහින් පැය දෙයක් විතර හිටියා. තමන්ගේ ආගමේ ස්වාමීන්වහන්සේ නමක් ඇවිත් ඉන්නවා කියලා ශත පහකට ගණන් ගත්තේ නැහැ. මෙහෙම නායකයෙක්ගෙන් රටට තියා අපිට කිසිදු වැඩක් නෑ. පාරක් අතු ගාන කම්කරු පත්වීමක් හැර මේ නායකයන් කිසිදු සේවයක් කළේ නැහැ. කැකිරාවේ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයා ගැන මිනිසුන් සියයට හැත්තෑපහක් කලකිරිලා ඉන්නේ. ජනාධිපතිතුමා මේ ගත්ත තීරණය රටේ අනාගතය වෙනුවෙන් ගත්ත හොඳ තීරණයක් බව කියන්න ඕනෑ. රටට ආගමට දරුවන්ට ආදරය කරන රාජ්‍ය නායකයෙක් රටට බිහි වේවායි කියා පතනවා.

මෙහිදී කැකිරාව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී රජකීය පණ්ඩිත කොස්සින්නේ රතනජෝති හිමියෝ මෙසේ පැවැසූහ.

බඩගෝසතරවාදී ස්වාමීන් වහන්සේලා ටිකක් නිසා පසුගිය කාලයේ සිදුවූ විනාශය අපි දැක්කා. ජන විඥානය හඳුනන්නේ නැති, අපේ සංස්කෘතිය දන්නේ නැති, ආගම දහමක් දන්නේ නැති විජාතික බලවේග විසින් අපිව මෙහෙය වූවා. මේ සේරටම වර්තමාන නායක රනිල් වික්‍රමසිංහ මහතා වගකියන්න ඕනෑ.

මහින්ද රාජපක්ෂට වැරදුණු තැන් අපි දැක්කා. මුදල් පස්සේ යන කාක්කෝ වගයක් වටේ හිටියා. ඔවුන් තමයි මේ වැරැද්ද කළේ. ජනාධිපති මේ ගත්ත තීරණය කැකිරාව ශාසනාරක්ෂක බල මණ්ඩලය විසින් එකහෙළා අනුමත කරනවා. මේ ජනතා පරමාධිපත්‍ය ආධිපත්‍යයක් කරගෙන බත් පැකට් එකට අත වැනුවාට, කැප් එකට, ටී ෂර්ට් එකට තම ආධිපත්‍ය කිසිදු වැඩක් නැති කැකිරාව එක්සත් ජාතික පක්ෂ නියෝජිතයා වගේ කිසිදු වැඩක් නැති නායකයන් පාර්ලිමේන්තුවට පත් කර යැවීමෙන් වළකින ලෙස අපි අපේ ජනතාවගෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ පැවැසූහ.

වැඩිදුරටත් අදහස් දැක්වූ කොස්සින්නේ රතනජෝති හිමියෝ මෙසේ පැවැසූහ.

ජනතාවට ආගමට ආදරය කරන පිරිසක් රටට අවශ්‍යව තියෙනවා. අවුරුදු තුනක් පස්සට ගිය රට ආපසු හරිගස්සන්නට මහින්ද රාජපක්ෂ කටයුතු කරයි කියලා අපි හිතනවා. ඒ වගේම අපි පාර්ලිමේන්තු ගිය වේලාවේ තොරතුරු ටිකක් ගත්තා, අපි වෙනුවෙන් පත්කර යවපු මන්ත්‍රිවරුන් කතා කළ අයුරු ගැන. අපේ ප්‍රදේශයට දිස්ත්‍රික්කයට වැඩ කරන්න පාර්ලිමේන්තු යවපු මන්ත්‍රිවරු නවදෙනා එක් දවසක් එකෙක් වත් ගිහින් නැහැ. ඒ වාර්තා අපි ගාව තියෙනවා. අපේ දිස්ත්‍රික්කයේ හිටපු ඇමැතිවරුන් අතර එක්කෙනෙක් දින ගණනාවක් විතරයි පාර්ලිමේන්තුවට ගිහින් තියෙන්නේ. මේ සේරම බඩගෝස්තරවාදී දේශපාලකයන්.

මහ සංඝරත්නයේ ජන විඥානය දන්නේ නැහැ. මිනිසුන්ගේ අහිංසක අදහස්වලට වැඩක් කළේ නැහැ. මේ අවුරුදු තුන පාක්ෂිකයන්ට අවශ්‍ය කිසිදු වැඩක් වුණේ නැහැ. රනිල් වික්‍රමසිංහ බැලුවේම අගමැති - ජනාධිපති වෙන්න මිසක් රටට ආගමට ආදරය කරන්නට නොවන බව අපි කියන්න අවශ්‍යයි. කැකිරාව අපේ ජනතාවගෙන් අපි ඉල්ලා සිටින්නේ මෙවැනි නායකයන් කුස්සියට දාලා අපිට, රටට වැඩක් කරන්න පුළුවන් නායකයන් පත් කිරීමට වග බලා ගන්න කියලයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon