මැති ඇමතිවරු මිලදී ගැනීමේ මිනිස් ජාවාරමට නායකත්වය දී ඇත්තේ ජනපතිවරයාමයි

  👤  2493 readers have read this article !
By mawbima 2018-11-14

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

ජනාධිපතිවරයා විසින් පසුගිය ඔක්තෝබර් 26 වනදා දියත් කළ ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයෙන් පසුව තුන්වන වතාවටත් මේ රටේ ජනතාව අමතමින් පෙන්වූයේ තමන් තවදුරටත් සත්‍යයට ගරු නොකර බලය වෙනුවෙන් ඕනෑම බොරුවක් පවා කියන්නට පුළුවන් ආකාරයේ ඒකාධිපති වියරුවෙන් පෙළෙන මානසික රෝගියකුගේ තත්ත්වයට පත්ව ඇති බව යැයි හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි.
මංගල සමරවීර මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ 2015 ජනවාරි 08 වනදා සිදුවුණු වෙනස නියෝජනය කළ මේ රටේ සුවහසක් ජනතාවගේ පරම අභිලාෂයන්ට පයින් ගසා ජනාධිපති සිරිසේන සිය ගෝත්‍රිකත්වයේ මුල්බිම් සොයා නිර්ලජ්ජිත ලෙස පසුබැස ඇති බවයි.

මංගල සමරවීර මහතා නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වේ.

ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද එම ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණකාරී ක්‍රියාවලිය මේ රටේ යුක්තිය සාධාරණත්වය ගරු කරන සමස්ත පුරවැසියාම පක්ෂ පාට භේදයකින් තොරව පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කොට ඇත. එසේම ජාත්‍යන්තර ප්‍රජාව පවා ජනාධිපතිවරයා විසින් පත්කරන ලද හොර අගමැති ප්‍රමුඛ ඇමැති මණ්ඩලය ද පිළිගැනීමට මෙතෙක් ඉදිරිපත් වී නැත. එවැනි පසුබිමක සිරිසේන ජනාධිපතිවරයා පෙරේදා (11දා) සිදුකළ කතාවෙන් මේ තත්ත්වය තව තවත් උග්‍ර වනවා නියතය.

නීති විරෝධීව කල්දමන ලද පාර්ලිමේන්තුව, ව්‍යවස්ථා විරෝධීව විසුරුවා හැරීමට බලපෑ හේතුකාරණා පැහැදිලි කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු මුදලට මිලදී ගැනීමට ඇතැමුන් කටයුතු කළ බවය. මෙහිදී පවසන ආකාරයට සමහර මැති ඇමැතිවරුන්ට රුපියල් මිලියන 100, 150 පමණක් නොව මිලියන 500 ක් වුවද ලබාදීමට කතා කර ඇති බවය. එය එසේ සිදුකරන ලද්දේ අපගේ කිසිවකු නොව මේ ප්‍රකාශය සිදුකරන ජනාධිපතිවරයාගේම හිතවත් නියෝජිතයන්ය.

අපගේ මැති ඇමතිවරු තමන් ළඟට ගෙන්වා ගෙන ජනාධිපතිවරයා විසින්ම ඇමැතිකම් ලබාදීමට පොරොන්දු වූ ආකාරයත්, ජනාධිපතිවරයාගේ හිතවත් නියෝජිතයන් ලවා ඔවුන්ට දුරකථනයෙන් අමතා සිතාගත නොහැකි තරමේ මුදල් ලබාදීමට පොරොන්දු වූ කතාබහත් මේ වනවිට ප්‍රසිද්ධ රහසක් බවට පත්ව ඇත. ඒ අනුව මැති ඇමැතිවරු මිලදී ගැනීමේ මිනිස් ජාවාරමට නායකත්වය දී ඇත්තේ අන් කිසිවකු නොව තමන්ගේ වැරැදි වසා ගැනීමට බොරු කියන ජනාධිපතිවරයාම බව පැහැදිලිය. ඒ සම්බන්ධයෙන් වූ සාක්ෂි අප සතුව ඇත. ඒ සියල්ල දැනට උද්ගතව ඇති ව්‍යවස්ථාදායක අර්බුදය විසඳුණු වහාම අල්ලස් හෝ දූෂණ කොමිසමට භාරදීම අප සූදානම්ය.

තවද කෙසේ හෝ පාර්ලිමේන්තුව යළි කැඳවූයේ නම් ඒ තුළ මිනිමරා ගනී යැයි බියක් තිබූ නිසා පාර්ලිමේන්තුව කැඳවීම අත්හිටුවූ බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටී. අපේ පැත්තේ මිනීමරුවන් කිසිවකු නොමැති බවත් ජනාධිපතිවරයාගේ අලුත් පාර්ශ්වයේ නම් ඕනෑතරම් මිනීමරුවන් සිටින බවත් මේ රටේ කුඩාදරුවකු පවා හොඳින්ම දන්නා කරුණකි. එය එසේ හෙයින් පාර්ලිමේන්තුවේ මිනීමරා ගනී යැයි බිය විය යුත්තේ ජනාධිපතිවරයා නොව අපය.

එමෙන්ම 2015 ජනවාරි 09 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් පත් කරන විට එක්සත් ජාතික පක්ෂයට සිටියේ මන්ත්‍රිවරු 41 ක් පමණක් බවත් ඒ අවස්ථාවේ බහුතරය පිළිබඳව කිසිවෙක් කතා නොකළ බවත් ජනාධිපතිවරයා කියා සිටී. 2015දී එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රිවරු 41 සිටිය ද එදා පටන් සෑම අවස්ථාවකදීම රජයට සහයෝගය දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරු රනිල් වික්‍රමසිංහ මහතාටත්, එතුමාගේ රජයටත්, එතුමාගේ ප්‍රතිපත්තිවලටත් සෑම අවස්ථාවකදීම පෙනී සිටි බව සිහිපත් කළ යුතුය. එම නිසා බහුතරය පිළිබඳ කිසිදු ගැටලුවක් මතුවූයේ නැත.

එපමණක් නොව ජනාධිපතිවරණයෙන් පසු 2015 ජනවාරි 20 දා පාර්ලිමේන්තුව යළිත් වතාවක් රැස්විය. ඉන් අනතුරුව අපගේ ආණ්ඩුවේ පළමු අයවැය පෙබරවාරි 07 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. එහිදී අපගේ පළමු පුංචි අයවැයට පක්ෂව ඡන්ද 104 කුත් විරුද්ධව 01 ඡන්දයකුත් ලැබුණු අතර වැඩි ඡන්ද 103 කින් සම්මත කරගන්නා ලදී.

එසේම 2015 අප්‍රේල් 28 වැනිදා මේ රටේ ජනාධිපතිවරයා සතු බලතල සීමා කිරීම සඳහා ඉදිරිපත් කළ 19 වන සංශෝධනයේදී ද ඊට පක්ෂව ඡන්ද 215ක් ද විපක්ෂව එක් ඡන්දයක් ද ඡන්දය දීමෙන් වැළකී සිටි එක් මන්ත්‍රිවරයෙක් සමඟ නොපැමිණි 07ක් ද වශයෙන් 5/6 බහුතරයකගේ කැමැත්තෙන් එය සම්මත කරගන්නා ලදී. මේ ගෙවුණු කාලය තුළ අප පාර්ලිමේන්තුව තුළ බහුතරයේ හීනතාවකින් හෝ උෟනතාවකින් පෙළුණේ නැත. එසේම ඒ වෙනුවෙන් පාර්ලිමේන්තු කල් තැබීමක් හෝ සිදුකළේ නැත. 2015 සිට මේ දක්වා පාර්ලිමේන්තුවේ පැවැති සෑම ඡන්දයකටම අප ජයග්‍රාහීව මුහුණ දී ජය තහවුරු කර ඇත.

ප්‍රජාතන්ත්‍රවාදයේ යථා පැවැත්ම විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන මූලික කුලුනු මත ර¼දා පවතී. ඒ වෙනුවෙන් එහි ස්වෛරීත්වය මෙන්ම ස්වාධීනත්වය ආරක්ෂා කළයුතුව ඇත. විධායකය වල්වැදී ඇති පරිසරයක් තුළ ව්‍යවස්ථාදායකයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමට උරදීම කථානායකවරයා සතු වගකීමකි. ව්‍යවස්ථාදායකයේ ස්වෛරීත්වය රැකගැනීම නීතියෙන්ම එතුමාට පැවරී ඇත. මන්ත්‍රිවරුන්ගේ අයිතිය සුරක්ෂිත කිරීමට එතුමා බැඳී සිටී. එසේම සියලු ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය වෙනුවෙන් වගකීමක්ද එතුමා සතුය. ඒ වෙනුවෙන් එතුමා නොබියව පෙනී සිටියේය.

කුමන්ත්‍රණකාරී කුහකයන්ගේ තර්ජන ගර්ජන මැද්දේ කරු ජයසූරිය කථානායකවරයා සිදුකළ මේ නිර්භීත කර්යය වෙනුවෙන් අප සියලු දෙනා සදා ණයගැති විය යුතුය. එසේම එතුමාගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන සියලු පුරවැසියන්ගේ වගකීමක් බව සිහිපත් කළ යුතුය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon