තෝරා ගැනීමකින් තොරව හැමදේම බදා ගැනීම විනාශයක් හපුතලේ කපොල්ල බඳු මහැදුරු මලලසේකර

  👤  2123 readers have read this article !
By mawbima 2018-11-14

ඕනෑම රටක් ගත් විට ආර්ථික, සාමාජීය, සංස්කෘතික වශයෙන් විවිධ ගැටලු ඇති වෙනවා. එසේ වීම එම පද්ධතියට ගෙන එනු ලබන්නේ හානියක්. රටක සංස්කෘතිය නිරන්තරයෙන් වෙනස් වන්නක්. සාම්ප්‍රදායික වැඩිහිටි පරම්පරාවට නම් එවැනි වෙනස්වීම් බොහෝ විට දරාගත නොහැකියි.

එහෙත් වර්තමානයේ පවතින සංස්කෘතිය තුළ අපට දක්නට ලැබෙන්නේ එම වෙනස්වීම් ශීඝ්‍රතාවයේ වැඩිවීමක්. ඒ සඳහා ප්‍රචාරණයද එක් හේතුවක් වී ඇත්තා සේම අධ්‍යාපනය, ආකල්ප, මාධ්‍ය භාවිතය වැඩි වීම ආදියද බොහෝ සේ බලපෑම් කරනු ලබනවා. ළමා අපයෝජන, ස්ත්‍රී දූෂණ ආදිය ගත් විට එම සංඛ්‍යා ලේඛන දක්වන්නේ යහපත් නොවූ ස්වරූපයක්. මෙම සියලු හේතුන් සමාජ ගැටලු තත්ත්වයේ ලා ගත් විට ඇත්තේ සරල නොවූ බරපතළ ස්වරූපයක්.

අප රටේ අධ්‍යාපනය අනිවාර්යයි. එහෙත් එසේ ඉගෙනීමක් ලබන කණ්ඩායමක් තුළ ගැටලු ඇති වන්නේ කෙසේද? ලෝකේ පවතින ප්‍රධාන ආගම් හතරකට හිමිකම් කියන ලංකාවේ සියලුම දෙනා කිසියම් ආගමකට යටත් වෙද්දී ගැටලු ඇති වන්නේ ඇයි? එසේ නම් ආගමික පාලනය මදිද නැති නම් මිනිසුන් ඒ පිළිබඳව හිතන්නේ නැද්ද යන්න ගැටලු මතු වෙනවා.

කෙසේ වෙතත් අද විවිධ වශයෙන් ඇති ගැටලු සඳහා විසඳුම් සොයන්නට නම් එය පොඩි තැනකින් ආරම්භ කළ යුතු වෙනවා. මූලික වශයෙන් ගත් විට පවුල් සංස්ථාව තුළ ආකල්ප ඇති වෙන ආකාරයෙන් ගැටුම්වලින් තොරව හොඳ පෞරුෂත්වයක් ඇති ළමයෙක් නිර්මාණය කරන්නේ කෙසේද යන්න ප්‍රබල වශයෙන් සාකච්ඡාවක් කළ යුතුයි.

අද පවුල් සංස්ථාව තුළ එදා සිටි මව වෙනස් වී තිබෙනවා. එහි වගකීම් කාර්යභාරය වෙනස් වෙලා. උදාහරණ ලෙස අතීතයේ බොහෝ බිරින්දෑවරු හෝ මවුවරු රැකියාවක නිරත වූයේ නැහැ. නමුත් අද දවසේ පවතින ආර්ථික, සාමාජීය වටපිටාව මත අනිවාර්යයෙන් ඇයටත් කිසියම් වෘත්තියක නිරත වීමට සිදුවී තිබෙනවා. එවිට පෙරදී මවට දරුවන්ට සම්බන්ධ සමහර කාරණාවලින් අෑත් වෙනවා. උදාහරණයක් ලෙස දරුවකු ලැබී දින 90ක් යද්දී නියුතුව සිටි රැකියාවට යායුතු වෙනවා. එසේ නොවුණහොත් එය ආර්ථිකයට බලපානු ලබනවා. එම නිසා මෙවැනි දේ ගැළැපීම බොහෝ අසීරුයි. අද බොහෝ මවුවරුන් රැකියාව උදෙසා විදේශගත වීමද වෙනවා. ප්‍රධාන වශයෙන් දරුවකුට කුඩා කලදී මවක් අත්‍යවශ්‍යයි. නමුත් රැකියාවක් කරන මවකට එහි ඇති වන අවශ්‍යතාවන් සමඟ එසේ කළ නොහැකියි.

අධ්‍යාපනය ලබාදීම මඟින් කරනු ලබන්නේ සම්පූර්ණ මිනිසකු සකස් කිරීමයි. එහෙත් අද එය සකස් වී ඇත්තේ දැනුම කේන්ද්‍රීය අධ්‍යාපනයකටයි. සමබර අධ්‍යාපනයක් ස්ථාවර පෞරුෂයක් එහි අන්තර්ගතව නැහැ. විභාග සඳහා අධික තරගයකට යොමු කිරීමෙන් දරුවාගේ අනෙකුත් සෞන්දර්ය ක්‍රීඩා කටයුතු පෞරුෂය ආදී පාර්ශ්වයන් සංවර්ධනය වීම සිදුවන්නේ නැහැ. හුදෙක් විභාග අවශ්‍යතාව පමණක් ඇති දරුවකුගේ සමබර පෞරුෂයක් සකස් වෙන්නේ කොහොමද? එවැනි පුද්ගලයන් සමාජගත වීමේදී ප්‍රශ්න, ගැටුම් වැඩි වන්නේ ඔවුන්ට දරා ගැනීමක් හෝ ජීවිතේ ප්‍රශ්නවලට මුහුණදීමේ හැකියාවක් නොමැතිවීම නිසායි.

රටක සාහිත්‍යය ගත් විට එමඟින් කරනු ලබන්නේ මිනිසුන්ගේ සෞන්දර්යය පක්ෂය නියෝජනය කර පෞරුෂය පිළිබඳ යම් කාරණාවක් සම්පූර්ණ කිරීමයි. නමුත් අධ්‍යාපනයෙන් සාහිත්‍ය ඉවත් කළහොත් වන්නේ එය සම්පූර්ණයෙන්ම නැති වීමයි. ක්‍රීඩා කටයුතුවලට යොමු නොවීමෙන් කායික, මානසික රෝග ඇති වී දරුවාගේ වර්ධනය පිළිබඳව සංකූලතාවන්ද ඇති වෙනවා. එහෙත් දරුවා ඉස්කෝලෙන් පන්තියට එතැනින් ගෙදර ආදී වශයෙන් මාරු වෙන තත්ත්වයක් අද පවතින්නේ.

පවතින ගැටුම්කාරී තත්ත්වයන් වෙනස් වීමට නම් පුළුල් සමාජ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ විය යුතුයි. එක් තැනකින් පටන් ගෙන විසඳුම් සෙවිය නොහැකියි. පවුල මූලික කරගත් විශාල ව්‍යාපෘතියක් වූ එයට ආගම, අධ්‍යාපනය, දේශපාලනය ආදී සියලු දේවල් අන්තර්ගත වියයුතුයි.

ජාතික ප්‍රතිපත්තියක් ලෙස එසේ යමක් සකස් නොකළහොත් පවතින ගැටලුකාරී තත්ත්වයන්ගෙන් ගැලවිය නොහැකියි. පැලැස්තර ඇලවීම විසඳුමක් වන්නේ නැහැ. අද දවසේ ගැටුම් ඇතිවීම මහා ව්‍යසනයන් බවට පත් වී හමාරයි. එම නිසා පුළුල් සමාජ සාකච්ඡාවකින් පසුව මේ සම්බන්ධව ගැළපෙන ප්‍රතිපත්තියක් සකස් කළ යුතු වෙනවා. එයට රටේ අධ්‍යාපනය, අනෙකුත් ව්‍යාපෘති කෙසේ විය යුතුද යන්න තීරණයක් ගෙන එය ක්‍රියාත්මක කළ යුතුයි.

මේ සඳහා ක්‍රියාත්මක වීමේදී හැම ස්තරයක්ම සම්බන්ධ වන සේ එකවර ක්‍රියාත්මක වීම කළ යුතු වෙනවා. එනම් පවුල් සංස්ථාව තුළත් අධ්‍යාපනය දේශපාලනය, මාධ්‍යවල, ආගමික ක්‍රියාකාරකම්වල යහපත් වෙනසක් විය යුතුයි.

මේ ව්‍යාපෘතීන් සමඟින් සංහිඳියාව ඇති කළ හැකියි. එනම් තමන්ගේ සංස්කෘතියට ගරු කරනවා මෙන්ම අන් අයගේ සංස්කෘතීන් අගය කිරීමේ හැකියාවද තිබීම අවශ්‍යයි. ජන කණ්ඩායම් අතර සැකය හා අවිශ්වාසය ඇති වීමෙන් බොහෝ තීන්දු වෙනස් වෙනවා. එහෙත් එක්ව කටයුතු කිරීමෙන් ඇති වන විශ්වාසය මඟින් බොහෝ ගැටලු අවම කර ගත හැකියි. සිංහල, දෙමළ, මුස්ලිම් තරුණයන් දින ගණනාවක් එකම ව්‍යාපෘතියක යෙදවීමෙන් එකිනෙකා පිළිබඳව විශ්වාසය, සහයෝගය ඇති විය හැකියි. මෙය පහසුවෙන් කළ හැක්කක් නොවේ. එහෙත් එය ක්‍රමානුකූලව කළ හැකියි. තරුණ සේවා සභාවට, ක්‍රීඩා අමාත්‍යාංශයට මේ සඳහා මූලික පියවරක් තැබීමට පුළුවන්.

සෞඛ්‍ය පැත්තෙන් ගත්තද අද බෝ නොවන රෝග ව්‍යාප්තිය අති මහත්. එයට මූලික හේතුවක් වී ඇත්තේ පුද්ගලයන්ගේ විවිධාකාර වූ ආහාර රටාවන්ට හා පුරුදුවලට අනුගත වීමයි. එයද සංස්කෘතික වශයෙන් වෙනස් වීමෙන් ඇති වූ අයහපත් හේතුවක් ලෙස පෙන්වා දිය හැකියි. එලෙසම පුද්ගලයන්ගේ දෛනික රටාව වෙනස් වීමත් නිරෝගී සෞඛ්‍ය සම්පන්න වූ ජීවිතයට දැඩිව බලපා තිබෙනවා.

70 දශකයෙන් පසු සංවෘත ආර්ථිකය වෙනුවට විවෘත ආර්ථිකයේ ආගමනය සමාජය ශීඝ්‍ර ලෙස වෙනස් වීම ආරම්භ වූ කඩඉම් ලක්ෂ්‍ය ලෙස පෙන්වා දිය හැකියි. තෝරා ගැනීමකින් තොරව හැමදේම බදා ගැනීම තුළ එනම්, අපට අදාළ ආකාරයට සකස් කර නොගෙන ලබා ගැනීම තුළ අද සෑම ආකාරයෙන්ම විශාල හානියක් රට තුළ සිදු වී අවසන් බව කනගාටුවෙන් වුවද කිව යුතුයි.

සුගත් සෝමවීර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon