ගීතා කුමාරසිංහ ජාතික ලැයිස්තුවට දමා දකුණේ මන්ත්‍රිවරයකුට බෙන්තර ඇල්පිටිය ඉල්ලයි

  👤  2259 readers have read this article !
By mawbima 2018-11-14

මාපලගම - රසික සෙනෙවිරත්න

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ගීතා කුමාරසිංහ මහත්මිය ජාතික ලැයිස්තුවට ඇතුළත්කොට එ.ජ.නි. සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරනු ලබන දකුණු පළාත් සභා මන්ත්‍රිවරයකුට බෙන්තර ඇල්පිටිය ආසනයේ අපේක්ෂකත්වය ලබාදෙන ලෙස ඉල්ලමින් දකුණු පළාත් සභාවේ මන්ත්‍රි 10 දෙනකුගේ අස්සනින් යුත් ලිපියක් අගමැති මහින්ද රාජපක්ෂ මහාතා වෙත යොමුකොට ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් විශාල කැපකිරීමක් කළ ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන සන්ධානයේ පළාත් සභා මන්ත්‍රිවරයකුට මෙම අවස්ථාව ලබාදෙන ලෙස මන්ත්‍රිවරුන්ගේ අස්සනින් අගමැතිවරයා වෙත යොමුකොට ඇති ලිපියේ සඳහන් වේ.

පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවීමට සියලු දෙනා දැඩි කැපවීමෙන් කටයුතු කරන බව සඳහන් කරන මෙම මන්ත්‍රිවරු පක්ෂය ගොඩනැඟීමට දායක වූ සියලු නායකයන්ට තරග කිරීමට අවස්ථාව ලබාදීමට නොහැකි බව දන්නා බවද එම ලිපියේ සඳහන් වේ. එහෙත් පක්ෂය ගොඩනැඟීම සඳහා කැපවූ නායකයන්ට උපරිම වශයෙන් සාධාරණත්වය ඉටුවිය යුතු බවද මෙහි වැඩිදුරටත් සඳහන් වේ.

මෙකී ලිපියේ පිටපත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, සභාපති ජී.එල්. පීරිස්, ලේකම් සාගර කාරියවසම්, හිටපු පර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන රමේෂ් පතිරණ හා නීතිඥ මොහාන් පී. ද සිල්වා යන මහත්වරුන් වෙත යොමුකොට ඇත.

මෙකී ලිපියට සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන දකුණු පළාත් සභා මන්ත්‍රිවරුන් වන චම්ලි විතානාච්චි, සිසිර කුමාරරත්න, චන්න සාලිය මෙන්ඩිස්, දුල්ෂාන් කාරියවසම්, ඒ.ජී.සී. පියසිරි, පත්මසිරි ද සිල්වා, සම්පත් අතුකෝරල, බද්දේගම සමිත හිමි, ඉසුරු ‍ෙදාඩංගොඩ හා ආරියවංශ සම්මු යන මන්ත්‍රිවරු අස්සන් තබා ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon