කෝච්චියේ හැපී මැරෙන වන අලින්ට කැබිනට් පේපර් ගැන වැටහීමක් නෑ ගහ කොළවලට සතා සීපාවට ආදරය නැති අයට ඡන්දය දෙන්න එපා

  👤  2148 readers have read this article !
By mawbima 2018-11-14

කලවාන - සේන ජයකොඩි

කෝච්චියේ හැපී මැරෙන වන අලින් බේරා ගැනීමේ නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරනවා වෙනුවට අනවශ්‍ය කැබිනට් පේපර් දැම්මාට ඉහත කී සතුන්ට ඒ ගැන තේරුමක් නැති බව මේ පාලකයන් හිතන්නේ නැතැයි 'සුරකිමු ශ්‍රී ලංකා' සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියෝ කලවානේදී පැවසූහ.

ආනන්ද සාගර හිමියන් ඉහත ප්‍රකාශය කළේ සුනිල් ප්‍රියන්ත කුමාර ගමඇතිගේ ලේඛකයා ලියූ 'සුන්දර සිංහරාජ ඇත් පන්තිය' නමැති කෘතිය පිළිගැන්වීම සඳහා කලවාන රුවන් ශාලාවේ පැවැති උත්සවයක් අමතමිනි.
"මේ රටේ එක විෂයට ඇමැතිවරුන් හතර පස්දෙනා ඉන්නවා. ඒත් වනජීවී විෂයට හිටියේ එක ඇමැතිවරයයි එක නියෝජ්‍ය ඇමැතිවරයයි විතරයි. ඔවුන් නොයෙක් දේ ගැන දන්නවා ඇති එහෙත් 'වනජීවීන්' ගැන මොකුත්ම දන්නේ නෑ. ඔවුන්ගේ මේ නොදන්නකම නිසා මෑත කාලයේ මේ රටේ වන ජීවීන්ගේ ඉරණම අතිශයින් දරුණු වුණා.

මෑතකදී කෝච්චියේ හැපෙන වන අලින් ඉන් ගලවා ගැනීම ගැන කැබිනට් පේපර් එකක් දැමීමට පෙර පැවැත්වූ සාකච්ඡාවකට අපවත් කැඳවා තිබුණා. ඒ විෂය පිළිබඳව විශේෂඥ දැනුමක් ඇති අයකු මා කැඳවාගෙන ගියා. එහෙත් ඔහු කියූ කිසි දෙයක් ඇමැතිවරයා ශත පහකට ගණන් ගත්තේ නෑ. රක්ෂිත වටා අලි වැටවල් ගැසීමට ඇමැති යෝජනා කළා. අලි වැට දිගට කිලෝමීටරයෙන් මීටරයට ටී 56 ගත් හමුදා ආරක්ෂකයන් රැඳවීමට එහිදී තීරණය කළා. වැට කඩාගෙන යන්න හැදුවොත් අලින්ට වෙඩි තියන්න නියම කරන වනජීවී ඇමැති කෙනකුගෙන් ඇති වැඩේ මොකක්ද?

නීති රීති ගැන, කැබිනට් පේපර් ගැන, ගැසට් පත්‍ර ගැන වන අලින්ට දැනුමක් නෑ කියන එක පාලකයන් තේරුම් ගන්න ඕනෑ.

අපි දැන් පැමිණ ඇත්තේ මැතිවරණ සමයකටයි. මේ මැතිවරණයේ තීන්දුව බල පාන්නේ කෑමබීමවලට පමණක් නොවේ. මෙය සොබාදහමටවන සතුන්ට, වන සම්පතටම රජයේ රක්ෂිතවලටත් බලපාන එකක්. එම නිසා ඉදිරි මැතිවරණයේදී ගහ කොළවලට සතා සීපාවට ආදරය නැති පිරිස්වලට ඡන්දය දෙන්න එපා" යැයි ආනන්ද සාගර හිමියෝ පැවසූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon