අධිකරණ භූමියේදී එජාප ආධාරකරුවන් හූ කිව්වාට එරෙහිව උපරිමාධිකරණයේ මාර්ෂල්වරයාට පැමිණිලි කළා

  👤  2194 readers have read this article !
By mawbima 2018-11-14

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

ශේ‍ර්ෂ්ඨාධිකරණ භූමිය තුළදී පසුගිය 12 වැනිදා අධිකරණයට අපහාස වන ආකාරයෙන් ක්‍රියාකළ එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් සම්බන්ධයෙන් තමා උපරිමාධිකරණයේ මාර්ෂල්වරයාට පැමිණිලි කළ බව ජාතික ඒකාබද්ධතා, සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා 'මව්බිම'ට ප්‍රකාශ කළේය.

අධිකරණ කටයුත්තක් වෙනුවෙන් දිවුරුම් පෙත්සමක් අස්සන් කිරීමට තමා අධිකරණයට ගොස් පැමිණෙන විට එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් තමාට "හූ" කියමින් කෑකෝ ගසමින් බාධා කළ බවත් මේ ක්‍රියාවලිය තුළින් එම ආධාරකරුවන් අධිකරණයට අපහාස වන ආකාරයෙන් අධිකරණ භූමිය තුළ හැසිරුණු බවත් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පෙන්වා දෙයි.

මෙම ක්‍රියාවලියෙන් පෙන්නුම් කරනු ලබන්නේ එක්සත් ජාතික පක්ෂයේ දීනකම, ප්‍රචණ්ඩකාරී බව හා ප්‍රජාතන්ත්‍ර විරෝධීභාවය බවත් මෙය සිදුවූයේ එක්සත් ජාතික පක්ෂයේ කවර නායකයකුගේ වුවමනාවටදැයි කියා තමා ප්‍රශ්න කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ රටේ නීතියට හා අධිකරණයට එක්සත් ජාතික පක්ෂය සිදුකිරීමට යන බලහත්කාරකම මේ සිද්ධිය තුළින් හොඳින් පෙන්නුම් කෙරෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අධිකරණයට අපහාස වන ආකාරයෙන් අධිකරණ භූමිය තුළ හැසිරුණු එක්සත් ජාතික පක්ෂයේ මෙම ආධාරකරුවන් කවුදැයි කියා රූපවාහිනි වීඩියෝ පට නැරඹූ විට හොඳින් හඳුනාගත හැකි බවද එම වීඩියෝ පට උපයෝගි කරගෙන මේ පිළිබඳව පරීක්ෂණ සිදුකරන ලෙසට තමා මාර්ෂල්වරයාගෙන් ඉල්ලීමක් කළ බවද අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon