ව්‍යවස්ථාව විසුරුවා හැරීමට එරෙහිව එජාපය ඊයේත් අනුරාධපුරයේදී පළි ගසලා

  👤  2103 readers have read this article !
By mawbima 2018-11-14

අනුරාධපුර -

මහේෂ් විජේසූරිය

ප්‍රජාතන්ත්‍ර විරෝධීව ව්‍යවස්ථාවට පටහැනිව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරෝධය පළ කර එම ක්‍රියා පිළිවෙතට එරෙහිව අධිකරණයට ගොනු කෙරුණු පෙත්සමට අධිකරණයේදී සාධාරණය ඉටුවේවායි පතමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ හිටපු එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පළාත් සභා මන්ත්‍රිවරුන් හා දැනට නගර සභා, ප්‍රාදේශීය සභාවල ජනතා නියෝජිත මන්ත්‍රිවරුන් සමඟ පක්ෂ ක්‍රියාකාරීන් එක්වී ඊයේ (13දා) උදෑසන අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි කදිරේශන් හින්දු කෝවිලේදී දේව කන්නලව්වක් පවත්වා පොල් ගැසූහ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන පී. හැරිසන්, චන්ද්‍රානි බණ්ඩාර යන මහත්ම මහත්මීන් ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන් තුන් සියයකට වැඩි පිරිසක් හින්දු කෝවිලට පැමිණ දේව කන්නලව්ව සිදු කළහ. හින්දු පූජක ඥානචන්ද්‍රන් බාලචන්ද්‍රන් කුරුක්කල්තුමා විසින් දේව කන්නලව්ව සිදු කළ අතර පසුව රැස්ව සිටි සියලුම පාක්ෂිකයන් කෝවිල ඉදිරිපිට පොල් ගසමින් වර්තමාන ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට අප්‍රසාදය පළ කළහ.

එහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරුන් වන පී. හැරිසන් හා චන්ද්‍රානි බණ්ඩාර යන මහත්ම මහත්මීහු මෙසේ පැවැසූහ. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සිදු කරලා තියෙන්නේ ඉතිහාසයේ සිදු කළ බරපතළම වැරැද්දක්. ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගහලා ව්‍යවස්ථා විරෝධීව පස්සේ ‍ෙදාරෙන් අගමැතිවරයකු පත් කරලා. අපි ඊට විරෝධය පළ කරලා අධිකරණයට ගියා. ඊට සාධාරණය ඉටුවෙයි කියලා හිතනවා.

විනිසුරුතුමන්ලා සාධාරණ තීන්දුවක් ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම විනිසුරුවරුන්ට සාධාරණ තීන්දුව ලබාදීමට අවශ්‍ය ශක්තිය හා හැකියාව ලැබේවා කියලා අපි දේව කන්නලව්ව සිදු කරනවා.

මහින්ද රාජපක්ෂ මහත්තයාගේ සමයේ අධිකරණයේ සාධාරණයක්, ස්වාධීනත්වයක් තිබ්බේ නෑ. හිටපු අග්‍රවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා ධුරයෙන් ඉවත් වන විට කිව්වා මම දීපු සමහර තීන්දු පිළිබඳව සෑහීමකට පත්වෙන්න බෑ කියලා. නමුත් පසුගිය කාලය පුරාම අධිකරණයෙන් දීපු තීන්දු සාධාරණ තීන්දු. අපි හිතනවා මේ තීන්දුවත් සාධාරණ වෙයි කියලා.

වර්තමාන අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුව ඇමැති මණ්ඩලය භංගවේවා කියමින් සියලුම දෙනා හින්දු කෝවිලේ පොල් ගසා ආණ්ඩුවට විරෝධය පෑහ. මෙම ආණ්ඩුට එරෙහිව මේ මස 15දා කොළඹදී දැවැන්ත ජනබල මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව පාක්ෂිකයන් දැනුවත් කරමින් එහිදී පැවැසීය.

මේ අවස්ථාවට උතුරු මැද පළාත් සභාවේ සභාපති වෛද්‍ය ඩී.එම්. අමරතුංග, උතුරු මැද පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක අනිල් රත්නායක අනුරාධපුර මහ නගර සභාවේ විපක්ෂ නායක ඉන්දික අරුණ කුමාර මහත්වරු ඇතුළු නාගරික මන්ත්‍රිවරු හා පක්ෂ ක්‍රියාකාරීහු රැසක් එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon