රුපියල් තුන්කෝටි අසූහත් ලක්ෂයේ මූල්‍ය වංචාව ප්‍රධාන සැකකාරිය ආදායම් පාලක හා ඇගේ සැමියා ඇතුළු සැකකරුවන් 6 දෙනා යළිත් රිමාන්ඩ්

  👤  2238 readers have read this article !
By mawbima 2018-11-14

අනුරාධපුර - ආනන්ද කරුණාදාස

අනුරාධපුර මහ නගර සභාවේ සිදුව ඇති බව කියන රුපියල් තුන්කෝටි අසූහත් ලක්ෂයේ මුදල් වංචා සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන මාස තුනකට අධික කාලයක් අඛණ්ඩව රිමාන්ඩ් කර සිටින ප්‍රධාන සැකකාරිය, ආදායම් පාලක ඇගේ සැමියා, සහෝදරයා ඇතුළු සැකකරුවන් හය දෙනා ඇප මත මුදා හැරීම යළි තරයේ ප්‍රතික්ෂේප කළ අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හේමන්ත පුෂ්පකුමාර මහතා සියලු සැකකරුවන් මේ මස 26 වැනි දින තෙක් තවදුරටත් රිමාන්ඩ් කරන ලස නියෝග කළේය.

අනුරාධපුර මහ නගර සභාවේ වැටුප් විෂය භාරව කටයුතු කළ යුත්තේ මාණ්ඩලික ශේ්‍රණියේ නිලධාරියකු වුවද එම විෂය භාරව රාජකාරි කර ඇත්තේ අනියම් කම්කරු සේවිකාවක බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය මීට පෙර වැඩිදුර වාර්තාවක් මඟින් අධිකරණයට දැන්වීය. වසර පහක පමණ කාලයක් මහ නගර සභවේ වැටුප් විෂය භාරව රාජකාරි කර ඇත්තේ මෙම මූල්‍ය වංචා සිද්ධියට දැනට රිමාන්ඩ් කර සිටින කම්කරු සේවිකාව බවද අධිකරණයට දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය වසර ගණනක සිට අනුරාධපුර මහ නගර සභාව සතු මුදල් බැංකු ගත කළ ලේඛන මේ වනවිට නගර සභාව සතුව නැති බවත්, ඒවා අස්ථාන ගත කරන්නට හෝ විනාශ කරන්නට ඇති බවට සැකයක් පවතින බවත්, තවදුරටත් අධිකරණයට දැන්වීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය තවදුරටත් අධිකරණයට කියා සිටියේ මෙම මූල්‍ය වංචාවට සැකපිට රිමාන්ඩ් භාරයේ රඳවා සිටින පළමු සැකකාරියගේ (මහ නගර සභාවේ වැටුප් විෂය නිලධාරිනිය ලෙස රාජකාරි කළ කම්කරු සේවිකාවගේ) දරුවන් දෙදෙනාගේ බැංකු ගිණුම්වලටද නගර සභාව සතු මුදල් රුපියල් ලක්ෂ ගණනක් බැර කර ඇති බවත් ඒ පිළිබඳ තවදුරටත් කරුණු අනාවරණය කරගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බවත්ය.

මෙලෙස තවදුරටත් රිමාන්ඩ් කළේ ප්‍රධාන සැකකාරිය වන අනුරාධපුර තිසා වැව ගෙවල් 60 අංක 4 ලිපිනයේ පදිංචිකරුවන් වන අනුරාධපුර මහ නගර සභාවේ වැටුප් විෂය භාර නිලධාරිනි ලෙස කටයුතු කළ අනියම් කම්කරු සේවිකා ඒ.ඩබ්. ශාලිකා එරන්දි අමරසිංහ, ඇගේ සැමියා වන අනුරාධපුර මහ නගර සභාවේ ආදායම් පාලක ඩී.එම්.ආර්. සම්පත් අනුරාධ කුමාරසිංහ, ඇගේ සහෝදරයකු වන අනුරාධපුර නගරයේ පෞද්ගලික ආයතනයක සේවය කරන ඩබ්. අසංක ප්‍රසාද් අමරසිංහ සහ අනුරාධපුර මහ නගර සභාවේ සේවය කරන ඇගේ මිතුරියක වන අනුරාධපුර අභයගිරිය පාර කුට්ටම්පොකුණ අංක 212/2 ලිපිනයේ උඩවත්තේගෙදර ලෝකානන්ද පද්මිණි, එස්.එම්. නාලක බණ්ඩාර සහ තාජුල් කරීම් තාජු රහමන් යන සැකකරුවන් සහ සැකකාරියන් හය දෙනාය.

මෙම මූල්‍ය වංචා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ සැකකාර ප්‍රසාද් අමරසිංහ නමැත්තාගේ බිරිය වන මධුමාලි කරුණාරත්න නමැත්තිය මිට පෙර ශරීර ඇප මත මුදා හැරිණි. ඒ ඇයට කිරි බොන වයසේ දරුවකු සිටින බවට නීතිඥවරයකු දැක්වූ සුවිශේෂී කරුණු සැලකිල්ලට ගනිමිනි පළමු සැකකාරිය වෙනුවෙන් නීතිඥ පී.එස්.ආර්. ප්‍රේමලාල් මහතා පෙනී සිටි අතර දෙවැනි, තුන්වැනි සහ හතර වැනි සැකකරුවන් වෙනුවෙන් ජේ‍යෂ්ඨ නීතිඥ චන්දන වීරකෝන් මහතාත් පස්වැනි සැකකරු වෙනුවෙන් නිසංසලා විජේසේකර මහත්මියත් හය වන සැකකාරිය වෙනුවෙන් මදාරා විජේසිංහ මහත්මියත් පෙනී සිටියාය. ඇප මත මුදා හැරුණු 7 වැනි සැකකාරිය වෙනුවෙන් පෙනී සිටියේ ජේ‍යෂ්ඨ නීතිඥ රංජිත් රාජකරුණා මහතාය.

මෙම මූල්‍ය වංචා සිද්ධිය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් කර සිටින වැටුප් විෂය භාර නිලධාරිනිය ලෙස රාජකාරි කළ කම්කරු සේවිකා ඒ.ඩබ්. ශාලිකා එරන්දි නමැත්තිය විසින් නගර සභාව සතුව තිබූ මුදල්වලින් රුපියල් හැත්තෑ දෙලක්ෂයක් (72,00,000) ඇගේ සැමියා වන නගර සභාවේ ආදායම් පාලක සම්පත් අනුරාධ නමැත්තාගේ බැංකු ගිණුම් කිහිපයකටත් රුපියල් විසි ලක්ෂ හැත්තෑ හතර දහස් තුන්සිය දෙකක්, (20,74,302) ඇගේ සහෝදරයකු වන අසංක ප්‍රසාද් අමරසිංහ නමැත්තාගේ නමින් ඇති බැංකු ගිණුමකටත් බැර කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය අධිකරණයට දැනුම් දී ඇත.

ඊට අමතරව තවත් රුපියල් හතළිස් අට දහසක් (48,000) පස් වැනි සැකකරුගේ ගිණුමකටත්, තවත් රුපියල් තිස් ලක්ෂයක් (30,00,000) හය වැනි සැකකරුගේ ගිණුමකටත්, තවත් රුපියල් දහතුන් ලක්ෂ හතළිස්අට දහසක් (13,48,000) හත්වැනි සැකකාරියගේ ගිණුමකටත් බැරකර ඇති බවද කියා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය, තවත් රුපියල් දහ නව ලක්ෂ විසිපන් දහස් තුන්සිය පහක් (19,25,305) අනුරාධපුර මහ නගර සභාවේ සේවිකාවක වන උඩවත්තේගෙදර ලෝකානන්ද පද්මිණි යන අයගේ ගිණුමකටද පළමු සැකකාරිය විසින් බැරකර ඇති බව මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලදී අනාවරණය වී ඇතැයිද අධිකරණයට සැල කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon