ටොෆී දෙන්නම් කියා බාලවයසේ දැරියක අපයෝජනය කළ සීයා කෙනකුට වසර 45ක සිර දඬුවමක් -දැරියට වන්දි ගෙවන්නත් වෙයි

  👤  2190 readers have read this article !
By mawbima 2018-11-14

මත්තල - ඩී.එන්. ජයසේකර

පාසල ඇරී නිවෙස බලා යමින් සිටි වයස අවුරුදු 09ක බාලවයස්කාර දැරියක රවටා පාළු නිවෙසකට රැගෙන ගොස් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කළ 69 හැවිරිදි සිව් දරු පියකුට වසර 45ක බර වැඩ සහිත සිර දඬුවමක් හා අපයෝජනයට පත් දැරියට රුපියල් එක්ලක්ෂ පනස් දහසක වන්දි මුදලක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරු අජිත් එම්. මාසිංහ මහතා ඊයේ (13දා) නියෝග කළේය.

මෙලෙස සිරදඬුවම් නියම වූයේ ලුණුගම්වෙහෙර, පඩව්ගම, පුංචිඅප්පුජදුර පදිංචි අමදෝරු ගලප්පත්තිගේ සිරිපාල නමැති සිවු දරු පියකුටය.

සැකකරු 2004 වසරේ ඔක්තෝබර් 11 දින සිට වසරකට අධික කාලයක් විටින් විට ටොෆි අරන් දෙන්නම් කිය රවටා දැරිය පාළු නිවෙසකට රැගෙන ගොස් අපයෝජනයට ලක් කර තිබේ. සැකකරුගේ නිවෙස ආසන්නයේ පදිංචි සිය හිතවතකුගේ වයස අවුරුදු 09ක දැරියක් මෙලෙස අපයෝජනයට ලක්කර තිබේ.

දැරිය ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පිහිටි විද්‍යාලයක 04 වසරේ ඉගෙනුම ලබා තිබේ. දැරිය පාසල් ඇරී නිවෙසට යන අතරවාරයේ මෙම සැකකරු සිය යතුරුපැදියෙන් පැමිණ දැරිය නිවෙසට ඇරලවන බව පවසමින් යතුරු පැදියට නංවාගෙන ඒ අසල පිහිටි පාළු නිවෙසකට රැගෙන ගොස් අපයෝජනයට ලක්කර තිබේ.

දැරිය අපයෝජනය කිරීමෙන් පසු සැකකරු දැරියට රුපියල් 50ක මුදලක්ද ලබාදී මේ බව කිසිවකුටත් නොකියන ලෙසත් කාට හෝ මේ බව කීවොත් සැකකරුත් වස බී දැරියටත් වස පොවන බවට දැරියට තර්ජනය කර තිබේ.

සැකකරු වසරකට අධික කාලයක් තිස්සේ දැරියට මුදල් දෙමින් මෙලෙස අපයෝජනයට ලක්කර තිබේ. දැරියගේ පන්ති භාර ගුරුතුමිය දැරිය පාසල් වේලාව තුළදී ටොෆි, චොකලට් ආදිය වැඩි වශයෙන් කන අයුරු දැක ඒ බව විදුහල්පතිවරයාට දන්වා තිබේ.

ඒ අනුව විදුහල්පතිවරයා දැරිය කැඳවා දැරියට මේ සඳහා මුදල් ලැබෙන්නේ කාගෙන්දැයි කළ විමසීමේදී දැරිය මේ පිළිබඳව විදුහල්පතිවරයාට පවසා තිබේ.

ඒ අනුව විදුහල්පතිවරයා දැරියගේ ආච්චි අම්මා විදුහලට ගෙන්වා කරුණු පැහැදිලි කර දී පොලිසිය වෙත යොමුකර තිබේ. දැරියගේ මවද පවුල අතහැර ගොස් ඇති අතර දැරිය බලාගෙන ඇත්තේ දැරියගේ ආච්චි අම්මාය. පසුව දැරිය හා දැරියගේ ආච්චි අම්මා විසින් ලුණුගම්වෙහෙර පොලිසියට කළ පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුට එරෙහිව නඩු විභාගය පැවැත්විණි.

සැකකරුට එරෙහිව වසර 13ක් තිස්සේ පැවති නඩු විභාගය අවසන් කරමින් එම නඩුව වෙනුවෙන් පත් කරන ලද පූර්වගාමී හම්බන්තොට මහාධිකරණ විනිසුරු අජිත් එම්. මාසිංහ මහතා සැකකරුට එරෙහිව දඬුවම් පැමිණවිය.

ඒ අනුව සැකකරුට එරෙහිව ගොනුකර තිබූ චෝදනා තුනට වෙන වෙනම දඬුවම් නියම කෙරිණි. පළමු චෝදනාව සඳහා වසර 15ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් හා රුපියල් 5000ක දඩ මුදලක් නියම කෙරිණි. දඩ මුදල් නොගෙවන්නේ නම් මාස 03ක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක්ද, දෙවැනි චෝදනාව සඳහා වසර 15ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් හා රුපියල් 5000ක දඩ මුදලක්ද දඩ මුදල් නොගෙවන්නේ නම් මාස 03ක ලිහිල් වැඩ සහිත සිරදඬුවමක්ද නියම කෙරුණි. තුන්වැනි චෝදනාව සඳහා වසර 15ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් හා රුපියල් 5000ක දඩ මුදලක් නියම කෙරුණු අතර දඩ මුදල් නොගෙවන්නේ නම් මාස 03ක ලිහිල් වැඩ සහිත සිරදඬුවමක් නියම කෙරුණි. සැකකරුගේ වයස පිළිබඳව සලකා බලා චෝදනා 03 සඳහා නියම කළ වසර 45ක සිරදඬුවම එකවර වසර 15කින් ගෙවී යන ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් ලුණුගම් වෙහෙර පොලිසිය සමඟ රජයේ අධිනීතිඥ රංගිකා රාජපක්ෂ මහත්මිය පෙනී සිටියාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon