නීතියට විරුද්ධ වැඩ කළා නම් අපට ජනතාව දඬුවම් දෙයි

  👤  2417 readers have read this article !
By mawbima 2018-11-14

දේශපාලන ස්ථාවරත්වයක් සහිත කඩා වැටුණු ආර්ථිකය ශක්තිමත් කරන, රටට වැඩ කළ හැකි ප්‍රතිපත්ති රාමුවක් තුළින් මෙවර මැතිවරණයට ඉදිරිපත් වන බවත් මේ වන විට මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කිරීම සඳහා කමිටුවක් පත් කර තිබෙන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවැසීය.

ශක්තිමත් ස්ථාවර රටක් ගොඩනැඟීම සඳහා 2/3 බලය ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා සඳහන් කළේය.

ඊයේ (13දා) බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.

ඉදිරි මහ මැතිවරණයකට පුළුල් සන්ධානයකින් තරග කරන බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ කියන්නේ එතුමා මැතිවරණයට සූදානම් වෙනවා කියන එකයි. නමුත් මැතිවරණ පැවැතච්වීමට එරෙහිව එතුමාට හොරෙන් කණ්ඩායමක් අධිකරණයට ගියපු එක ගැන අපි කනගාටු වෙනවා.

පසුගිය අවුරුදු 3 1/2 තුළදී ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර ප්‍රතිපත්තිමය වශයෙන් මතගැටුම් පැවතුණා. ඒ නිසා ජනතාව පීඩාවට පත්වුණා. මැතිවරණ කල් දැම්මා. අද ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා කෑ ගහන කවුරුවත් මේ දේවල් ගැන කතා කළේ නැහැ. නමුත් ජනාධිපතිවරයා විසින් ප්‍රජාතන්ත්‍රවාදීව දින 11ක් පාර්ලිමේන්තුව කල් තැබීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බව තානාපතිවරුන් පවසනවා. මේ අර්බුදයට කථානායකවරයා සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. ඔහු තමන්ගේ සීමාව ඉක්මවා වැඩ කළා. ඒ නිසා ව්‍යවස්ථාදායකයේ අර්බුදයක් මතු වුණා. ඔහු නිවැරැදිව ක්‍රියා කළා නම් මැතිවරණ පැවැත්වීමට එරෙහිව කවුරුවත් උසාවි යන්නේ නැහැ.

දැන් ප්‍රජාතන්ත්‍රවාදීව අලුත් ආණ්ඩුවක් පත්කර ගැනීමට මහ ජනතාවට අවස්ථාව ලැබිලා තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේදී ඔහු ප්‍රකාශ කරපුව එකින්එක ඉටු කළා. යුද්ධය අවසන් කරලා රට සංවර්ධනය කළා. රටට ආයෝජකයන් ආවා. මිනිස්සුන්ගේ අතේ මුදල් ගැවසුණා. මිනිස්සුන්ට අලුත් බලාපොරොත්තු ඇති වුණා. මේ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට බලය දෙන්න රටේ ජනතාව සූදානම් නැහැ.

පසුගිය කාලයේදී ජනාධිපතිවරයා හා මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය යම් විරසක වීමක් තිබුණා. නමුත් දැන් අපි දෙගොල්ලම එකට එකතු වෙලා එකම ප්‍රතිපත්තියක ගමන් කරනවා. ඒ නිසා අර්බුද ඇති වෙන්නේ නැහැ.

පසුගිය කාලේ සිදුවූ වැරැදි නිවැරැදි කරගෙන ජනතාවට හොඳ පාලනයක් ලබා දෙන්න අපි සූදානම්.

අපි මැතිවරණයට බය නැහැ. මූලික පරමාධිපත්‍ය තිබෙන්නේ ජනතාව තුළයි. මේක නීතිය ඉදිරියේ තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. මේ ප්‍රශ්නය විස¼දාගන්න ඕන ජනතාව ඉදිරියේයි. ඒ නිසා උසාවි යන්න අවශ්‍යතාවක් නැහැ. නීතියට පටහැනිව ක්‍රියා කළා නම් ජනතාව අපිට දඬුවම් කරාවි.

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි පියල් නිශාන්ත

එමෙන්ම පසුගිය ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කළ සංවර්ධන වැඩසටහන් නතර කරන්නේ නැහැ. එවැනි වැඩසටහන් පිළිබඳව අධ්‍යයනය කර මහජනතාවට සේවයක් සිදුවන්නේ නම් එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නවා.

ඉෂාරා සිල්වා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon