බුදු වදන ජනාධිපති සිරිසේන ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්නුවා

  👤  2755 readers have read this article !
By mawbima 2018-11-14

ලබාගත් දුෂ්කර මිනිස් ආත්මයක, මිය යෑමට පෙර එම භවයේදීම ක්‍රියාවෙන් තිරිසනකු විය හැකි බව බුදු දහමේ පවා පෙන්වා දී තිබෙනවා. එකී බණ පදය පොළොන්නරුවේ සිරිසේන උන්නැහේ ක්‍රියාවෙන්ම ඔප්පු කර තිබෙනවා. 2015 වර්ෂයේ ජනවාරි 8දා තමන් පැරදුණා නම් පවුලේ අය සමඟ තමන් අඩි 4ක ගැඹුරක වළක වැළලෙන්න තිබුණා යැයි කියා දෝෂාරෝපණය කළ මහින්ද රාජපක්ෂ එක්කම යළි මඟුල් කන්න යෑම මිනිසකු විසින් නොකළ යුතු තිරිසන් ක්‍රියාවක් යැයි හිටපු අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පැවැසීය.

හිටපු අමාත්‍යවරයා එසේ පැවැසුවේ හදිසියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණයට එරෙහිව එක්සත් ජාතික පෙරමුණේ සාමාජිකයන් පිරිසක් මහරගම නගර මධ්‍යයෙහි පසුගියදා පැවැත්වූ විරෝධතා පා ගමන අවසානයේදීය.

එදින සවස මහරගම ජනාධිපති විද්‍යාලය අසල සිට මිනී පෙට්ටියක් කර තබාගත් විරෝධතාකරුවෝ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම යනුවෙන් සඳහන් කළ බැනරයද පෙරටු කොට මහරගම නගරය වටා ගමන් කර පරණ පාර ඔස්සේ නගර මධ්‍යයෙහි පිහිටි හෝරා ස්තම්භය වෙත පැමිණියහ.

හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් මෙසේ පැවැසීය.

එදා මහින්ද රාජපක්ෂ රජය යුගයේ පැවැති දරුණු භීෂණය නිසා මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වන විට මුන්නැහේ හිටියේ කුරුණෑගල පොල් වත්තක. එහි ඉඳගෙන තමයි මැතිවරණ ප්‍රතිඵල ඇහුවේ.
එදා තමන්ගේ මැරයා වූ මහින්ද රාජපක්ෂගේ උපදෙස් පිට ව්‍යවස්ථා විරෝධීව පාර්ලිමේන්තුව විසුරුවා හැර ඒ මැරයාගේම වලිගයේ එල්ලීගෙන මැතිවරණයකට යෑමට සැරසීම තිරිසන් ක්‍රියාවක් නොවන්නේ කෙසේද? එසේ නම් මෙයින් අපට ඒත්තු ගැන්වෙන්නේ, පසුගිය වසර තුනක කාලයේ මේ රට පාලනය කර තියෙන්නේ මිනිසකු නොවන බවයි.

තමන් ජනපති බලතල කප්පාදු කරන බවට පුරාජේරු ගැසූ ජනාධිපතිවරයා වැඩි ඡන්දයෙන් සම්මත කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන හොඳින්ම දැනුවත්ව හිටියා. එසේ තිබියදී ඔහු පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ පාර්ලිමේන්තු ආසන 113 සංඛ්‍යාව මහින්දලාට සොයා ගැනීමට තිබූ අපහසුව නිසා. එයින් ජනාධිපතිවරයා රටේ ව්‍යවස්ථා අර්බුදයක් නිර්මාණය කර තිබෙනවා. මෙය අප රට ජාත්‍යන්තරය හමුවේ අපකීර්තියකට පත් කිරීමක්.
හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංගේ බණ්ඩාර

ලෝකයා හමුවේ මහින්ද හිටපු මන්ත්‍රි විසින් කිලිටි කර දැමූ අප රටේ කීර්තිය යළි ගොඩනැඟූ එක්සත් ජාතික පක්ෂය, මේ රට යුද අපරාධ සිදුකළ රටක්ය යන අවනම්බුවෙන් මුදා ගත්තා. එවන් රටක් යළි ගොඩ නඟමින් සිටින අවස්ථාවක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් කළේ පනින රිළවුන්ට ඉණිමං තැබීමක්. එළැඹෙන මහ මැතිවරණයේදී ජනතාව නැවත එක්සත් ජාතික පක්ෂයට මේ රට ගොඩනැඟීමේ වගකීම පවරන බව හොඳටම විශ්වාසයි.

මහරගම - චන්ද්‍රසිරි මලවිගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon