දකුණේ ආශිර්වාදය නැතිව උතුරට දේශපාලන විසඳුමක් දෙන්න බෑ

  👤  2803 readers have read this article !
By mawbima 2018-11-13

දකුණෙ ජනතාවගේ ආශීර්වාදය නොමැතිව උතුර-නැඟෙනහිර සඳහා ස්ථිරසාර විසඳුමක් ලබාගත නොහැකි බව උතුරේ ජනතාව මෙන්ම බහුතර ඩයස්පෝරාවද දන්නා බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළේය.

නිදහසින් පසුව රටේ වැඩිම ජන ප්‍රසාදයට පත් පුද්ගල චරිතය වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා පත් වූ බවත් දකුණු සංවර්ධනය මෙන්ම උතුරු සංවර්ධනයටද හැකියාව ඇත්තේ එතුමාට බවත් පැවැසූ රඹුක්වැල්ල මහතා උතුරට සාධාරණයක් ඉෂ්ට කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා එක්විය යුතු බවද වැඩිදුරටත් පැවැසීය. එහිදී මෙසේද පැවැසීය.

ශ්‍රී ලංකාව පිළිබඳව අනාගතයක් සැලසුම් කළ හැකි එකම අවස්ථාව මෙම මහා මැතිවරණයයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථානුකූල නැහැ යැයි චෝදනා කරන පාර්ශ්වයට ඒ සඳහා අධිකරණය හමුවට යා හැකියි. නමුත් ඔවුන් අධිකරණය හමුවට යන්නේ නැහැ. ඔවුන් හොඳින්ම දන්නවා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ අග්‍රාමාත්‍යවරයා පත් කිරීම නීත්‍යනුකූල බව.

කථානායකවරයා පක්ෂග්‍රාහීව ක්‍රියා කළ නිසයි මෙවැනි අර්බුදයක් මතු වුණේ. පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කළයුතු එතුමා ක්‍රියාකළේ කථානායකවරයා වශයෙන් නොව, එක්සත් ජාතික පක්ෂයේ උප සභාපතිවරයා වශයෙන්. එතුමා සම්බන්ධයෙන් ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව අපි අවධානය යොමු කරනවා.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්වී කථානායකවරයා වෙනම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. ඔවුන් ගනුදෙනුව කළේ ඇමෙරිකාව, යුරෝපා සංගමය ඇතුළු වෙනත් ජාත්‍යන්තර රටවල් සමඟයි. කථානායක නිල කාමරේට ගෙන්වන විදේශීය නියෝජිතයන්ගේ අදහස් විමසමින් තමයි කථානායකවරයා තීන්දු තීරණ ගත්තේ.

රටේ ජනතාව වෙනුවෙන් අපිට මීට වඩා සාධාරණ තීන්දුවක් දෙන්න බැහැ. නමුත් අද ජනතාවට අවස්ථාවක් ලැබිලා තියෙනවා රටේ තීරකයා වෙන්න.

මහනුවර - නදීක දයා බණ්ඩාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon