අගමැති පුටුවේ රනිල්ව යළි ඉන්දන්න සමහරුන් ලෝකෙට බොරු කිව්වා

  👤  2860 readers have read this article !
By mawbima 2018-11-13

රනිල් වික්‍රමසිංහ මහතාව නැවත සිංහාසනයේ හිඳුවීමට ඇතැම් පිරිස් ජාත්‍යන්තරය හමුවේ බොරු ප්‍රචාර පතුරුවා හැරීමට කටයුතු කළ බවත් එම ප්‍රයත්නය පරාජය කිරීමට හැකිවූ බවත් ජාතික ඒකාබද්ධතා සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතාව නැවත අගමැති කිරීමේ කාරණය පිටුපස කථානායකවරයාද සිටි බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා ඊයේ (12දා) කොළඹදී පැවැති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙසේ පැවැසීය.

වාසුදේව නානායක්කාර මහතා මෙසේද පැවැසීය.

මම පසුගිය නොවැම්බර් 08 වැනිදා කථානායකට ලියුමක් ලිව්වා. එතුමා පිටරට තානාපතිවරු පාර්ලිමේන්තුවට ගෙන්වාගෙන ලංකාවේ රාජ්‍යයේ ප්‍රශ්න ගැන ඔවුන් සමඟ කතාබහ කිරීම කොයි තරම් නිවැරැදිද කියන දේ මම ඒ ලිපියෙන් විමසුවා. මම ඇමෙරිකාවේ පාර්ලිමේන්තුවේ කථානායකටත් ලිපියක් ලිව්වා. මම ඇහුවා ඔබතුමාගේ රටේ රාජ්‍ය කටයුතු ගැන විමසන්න වොෂින්ටන්වල ඉන්න ලංකා තානාපතිතුමා ආවොත් එයට ඉඩදෙවාද කියලා. මට උත්තරයක් ලැබුණේ නැහැ. අපේ රටේ කථානායකවරයා එ.ජා.ප.යේ ඉත්තෙක් විදියට කටයුතු කරන්න පෙලඹිලා තිබෙනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ බව එහි ලේකම්වරයාත් පැවැසුවා. එහෙම වුණහම ඒ ආණ්ඩුවේ අගමැතිවරයාගේ නිලය පවතින්නේ කොහොමද? ඒක නිකම් හැළිය බිඳුණාට පස්සේ හොදි ඉතිරි වෙනවා වගේ කතාවක්. හැළිය බිඳුණාට පස්සේ හොදි ඉතිරි වෙන්නේ නැහැනේ. ඒ වෙලාවේ අලුත් අගමැතිවරයෙක් පත්වීමේ අවශ්‍යතාවක් තිබුණා. නමුත් කථානායකවරයාගේ හැසිරීම එයට බලපෑවා. නමුත් අපි අගමැති පත් කළා. සමහරු කිව්වා ඒක පිළිගන්නේ නැහැ කියලා. එහෙම එක එක්කෙනාට නීති පනවන්න බැහැ. එහෙනම් අධිකරණයට යායුතුයි. ඇයි ගියේ නැත්තේ. ඒක තමයි ප්‍රශ්නය.

නමුත් එහෙම කළේ නැහැ. එයාලට අවශ්‍ය වුණේ රටේ ව්‍යාකූල තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා කියලා ඔවුන්ගේ විදේශ මිතුරන්ට කීමටයි. මේ රටේ සියලු දේ අරාජිකයි කියලා කියන්නටයි ඔවුන්ට අවශ්‍ය වුණේ. නමුත් අපි එයට අසුවුණේ නැහැ.

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි චන්ද්‍රසිරි ගජධීර

අපි කලින්ම කිව්වා ජාතික ආණ්ඩුව දිගටම පවතින්නේ නැහැ කියලා. මොකද ඔවුන් නොගැළපෙන අන්ත දෙකක්. ඉදිරියේදී කවුරු බලයට ආවත් පවතින මූල්‍ය අර්බුදයට විසඳුම් සොයන එක අමාරු දෙයක්. හිටපු අගමැතිතුමා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළාට ඔහුට එසේ කතා කරන්නට අයිතියක් නැහැ. ඔවුන් බලය ලබාගත්තේ ප්‍රජාතන්ත්‍රවාදී විදියට නෙවේ. ඔවුන් රට පාලනය කළෙත් ප්‍රජාතන්ත්‍රවාදී විදියට නොවේ. එ.ජා.ප.ය ඇතුළෙත් ප්‍රජාතන්ත්‍රවාදය නැතිව ඔවුන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය පතුරවන්නේ කොහොමද? අද මන්ත්‍රිවරුන් වෙළෙඳ භාණ්ඩ වෙලා. මේ තත්ත්වය අප වෙනස් කළ යුතුයි.

හිටපු අමාත්‍ය තිස්ස විතාරණ

එ.ජා.ප.ය දුන්නු එක පොරොන්දුවක්වත් ඉෂ්ට කරලා නැහැ. හිටපු අගමැති මහ දවල් හොරකම් කළා. යහපාලනය ඇති වුණේ නැහැ රටේ.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon