එජාපයේ ජයග්‍රහණයට සජිත් අගමැති අපේක්‍ෂකයා විය යුතුයි

  👤  2979 readers have read this article !
By mawbima 2018-11-13

ඉදිරි මැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කිරීමට නම් එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අගමැති අපේක්ෂක ලෙස ඉදිරිපත් කළ යුතු යැයි උෟව පළාත් සභා මන්ත්‍රි ජයන්ත කන්නන්ගර පවසයි.

මේ වනවිට රට තුළ උද්ගතව ඇති දේශපාලන කැලඹිලි සහිත තත්ත්වය මත එක්සත් ජාතික පක්ෂය විසින් ගතයුතු පියවර සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ සඳහන් කළේය.

මම අපේ පක්ෂයේ ඉහළ නායකත්වයෙන් විවෘතව ඉල්ලා සිටින්නේ ඉදිරි මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීමට නම් අපේ පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අගමැති අපේක්ෂක ලෙස නම් කළ යුතුයි. එසේ වුවහොත් අපට අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබාගන්න පුළුවන්. අද සමස්ත එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ පොදු ඉල්ලීම වන්නේත් එයයි. විධිමත්ව නිවැරැදිව වැඩක් කරන නායකයෙක් ලෙස එතුමා ගැන ජනතාව තුළ විශාල පැහැදීමක් තිබෙනවා. එතුමාට රට භාරදුන්නොත් එම වගකීමත් නිවැරැදිව ඉටුකරන බවට ජනතාව තුළ විශ්වාසයක් තිබෙනවා
.
සජිත් ප්‍රේමදාස මහතා අප පක්ෂයේ අගමැති අපේක්ෂක ලෙස ඉදිරිපත් කළොත් ජයග්‍රහණය ස්ථිරයි. එසේ නොවුණොත් අපට ජයග්‍රහණය ගැන ගැටලුවක් තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතාත් හොඳ නායකයෙක්. ඒත් එතුමාගේ නායකත්වය ප්‍රායෝගික නෑ. ජනතාව ඉල්ලන්නේ ජනතාවට සමීප නායකයෙක්. එක්සත් ජාතික පක්ෂයේ ඒ සඳහා වඩාත්ම සුදුසු දේශපාලනඥයා සජිත් ප්‍රේමදාස මහතායි. රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය තන්ත්‍රය ගැන, විදේශ සබඳතා ගැන, ආර්ථිකය ගැන, දේශපාලනය ගැන ඇත්තේ අද්විතීය දැනුමක්. ඒත් එතුමා ජනතාවට සමීප නෑ. ඒ නිසා එතුමාගේ දැනුමත් සජිත් ප්‍රේමදාස මහතාගේ හැකියාවත් එක්කර පක්ෂය ජයග්‍රහණය කරවීමට වික්‍රමසිංහ මහතා පියවර ගැනීමයි දැන් සුදුසුම දේ.

ඇටම්පිටිය - රත්න වීරසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon