මහින්ද අගමැති ධුරයට පත්කිරීම ව්‍යවස්ථා ගැටලුවක් නොවෙයි

  👤  3113 readers have read this article !
By mawbima 2018-11-13

පසුගියදා අපේ රටේ තිබුණු ජාතික ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර පක්ෂයක්වූ නිදහස් පක්ෂය ඉන් ඉවත්වුණා. එවිට ජාතික ආණ්ඩුව පවත්වාගෙන යෑමට බෑ. මහ බල පෙරළියක් තමයි වුණේ. ඒ අනුව ජනාධිපතිවරයා විධියට ආණ්ඩුව ඉදිරියට ගෙනයෑමට අග්‍රාමාත්‍යවරයෙක් පත්කළා එය දේශපාලන ගැටලුවක් මිස ව්‍යවස්ථා ගැටලුවක් නොවන බව පැපිළියාන සුනේත්‍රා දේවි මහ පිරිවෙන විහාරයේ විහාරාධිපති මහාචාර්ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ

පැවසූහ.

උන්වහන්සේ එසේ පැවසුවේ එළිය සංවිධානයේ සර්ව ආගමික පූජකවරුන් එක්ව පැපිළියාන සුනේත්‍රා දේවි මහ පිරිවෙන් විහාරයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ මෙසේ පැවැසූහ. 2015 ජනවාරි අටවැනි දින ඇති වූ දේශපාලන පෙරළිය හුදෙක් දේශපාලන පෙරළියක් නම් නෙවෙයි. එය බටහිරට ගැතිකම් කරනා කාගේ හෝ වුවමනාවට සිදුවූ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක ප්‍රතිඵලයක්. මේ වැඩ පිළිවෙළේ අවසානය නම් අපේ රටේ ජාතික සම්පත් විනාශය සහ රණවිරු අභිමානය නැතිවීම. ඒ වගේම ආගම් අතර තිබූ සංහිඳියාව නැතිවීමයි.

අපේ වාසනාවට ගෙන ඒමට සූදානම් කර තිබූ රටට නොගැළපෙන ව්‍යවස්ථාව හකුළා දැමීමට සහ බෙදුම්වාදයට තිත තැබීමට 26 වැනිදා සිදුවූ බල පෙරළියෙන් හැකිවුණා. ඒ වාගේම දෙමළ ඩයස්පෝරාවෙන් අපේ රටට සිදුකරන්න ගිය මහා විනාශයක්ද නැතිව ගියා. දැන් මේ පෙරළියෙන් ජනතාවට අවස්ථාවක් හිමිව තිබෙනවා රටට ආදරය කරන, ජන මනස හඳුනන, රටේ සංස්කෘතිය හඳුනන, රටේ පවතින ආගම් හා ජනකොටස් එක්ක සුහදව කටයුතු කළ හැකි රටේ මිනිසුන්ට අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් ගොඩනඟන නායකයෙක් පත් කරගන්න. රටේ ආර්ථිකය සුරක්ෂිත මෙන්ම ආරක්ෂාකාරීව පවත්වා ගනිමින් රට ස්වයං පෝෂිත තත්ත්වයට ගෙනයා හැකි වැඩපිළිවෙළක් ගොඩනඟන්න හැකි නායකයෙක් පත්කර ගැනීම ජනතාවගේ අපේක්ෂාව විය යුතුයි.

ආචාර්ය කුලකුලසූරිය පියතුමා
අද රටේ සිදුව ඇති ව්‍යසනයෙන් රට බේරාගැනීමට පන්සිල් රකින සමාජයක් ඇති කළ යුතුයි. ඊට හේතුව වන්නේ අවංක නායකයන් මෙන්ම සත්‍යවාදී නායකයෙක් බිහිකරන්න බෞද්ධ රටක් හැටියට හැකියාවක් තිබෙන බව මා විශ්වාස කරනවා. හිටපු අගමැතිවරයාගේ පාර්ශ්වයේ අයෙක් කියනවා ලේ වැගිරීමක් කරනවා. යුද්ධයක් ඇති කරනවා කියලා. එම ප්‍රකාශ ප්‍රජාතන්ත්‍රවාදී රටක ඇසීමටත් නොතිබිය යුතු දේවල්. පන්සිල් රකින අයෙක් හැමදාම කියන්නේ සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා කියලා. කතෝලික ආගමේ කියන්නේ සැමදා සාමයෙන් හා ප්‍රේමයෙන් ජීවත් වෙන්න කියන එක. අපි නායකයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ හොඳ ගුණාංග වගේම හොඳ පෞර්ෂත්වයක්.

යුද්ධයකින් දුක්විඳි අයට ලොකු සහනයක් සැලැස්වූ නායකයෙක් නැවත පැමිණ තිබෙනවා. සිංහල සංස්කෘතිය මෙන්ම හින්දු සංස්කෘතිය අනුව පැරැණිම ශිෂ්ටාචාරයකට හිමිකම් කියන අපි දිනූ දේශය රැකගනිමින් ඉදිරියට පියනැඟිය යුතුයි.

හසන් මවුලානා
මේ රට තුළ ජීවත්වන ජනයාට ගෞරවනීය පණිවුඩයක් ලබාදීමට මා බලාපොරොත්තු වනවා. අපේ රට තුළ පවතින තත්ත්වය ගැන අපි කල්පනා කර බැලුවොත් රටේ ජීවත්වන අයට පසුගිය දවස්වල පැවැති යුද්ධයට වඩා ආර්ථික යුද්ධය බරපතළව දැනුණා. අපේ රට බටහිර කුමන්ත්‍රණකාරී බලවේග විසින් පහතට ඇද දැමීමට සූදානම්ව හා උත්සාහ කරන වේලාවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ගත් අතිවිශිෂ්ට නිවැරදි තීරණය හේතුවෙන් බටහිර බලවේගයන්ගෙන් රට මුදා ගන්නට හැකිවුණා.

තිස් වසරක යුද්ධය අවුරුදු එකහමාරකින් නිමකළ හිටපු ජනපතිවරයා නැවත අගමැති වශයෙන් පත්කර තිබෙනවා. ඔහු යළිත් රට සංවර්ධනය කරා ගෙනයාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

බොරලැස්ගමුව - නිඳුවර අබේසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon