ඛනිජ තෙල් අමාත්‍යාංශයේ සිදු වූ දේ පිළිබඳව සත්‍යය තවම හෙළිවූයේ නැහැ - හිටපු ඛනිජ තෙල් ඇමැති අර්ජුන රණතුංග

  👤  284 readers have read this article !
By mawbima 2018-11-09

ඉරේෂා දිල්හානි

ඛනිජ තෙල් අමාත්‍යාංශයේ පසුගියදා සිදුවූ දේ පිළිබඳව සත්‍ය තොරතුරු හෙළිදරව් නොවූ බවත් එයින් සත්‍ය වසන් කිරීමට කටයුතු කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි අර්ජුන රණතුංග මහතා පැවැසීය.
ඊයේ (08දා) රේණුකා හෝටලයේදී පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රිවරයා ඒ බව කීය.

මාධ්‍ය මඟින් සත්‍ය තොරතුරු හෙළි නොකිරීම හේතුවෙන් තමා හට දැඩි අසාධාරණයක් වී ඇති බව ද ඒ හේතුවෙන් සත්‍ය තොරතුරු රට හමුවේ අනාවරණය කිරීමට තමාට සහාය වන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා මෙසේ ද කීය.

ලන්ඩන් නුවර පැවැති සම්මන්ත්‍රණයකට සහභාගි වීමට ගොස් මම ලංකාවට ආවේ ඔක්තෝබර් 28දා උදේ. මේ වන විට ආණ්ඩු පෙරළියක් සිදු වී තිබූ නිසා නිල නිවෙස තුළ තිබූ මගේ පෞද්ගලික භාණ්ඩ ඉන් ඉවත් කර ගැනීමට මට සිදුවුණා. නිල නිවෙසේ යතුරු තබා තිබුණේ සිපෙට්කෝ නිවෙසේ හතර වන මහලේ පිහිටි ඛනිජ තෙල් සම්පත් අමාත්‍යංශ කාර්යාලයේ, මා ඒ ගැන අමාත්‍යාංශ ලේකම්ට දුරකථනයෙන් කතා කළ විට ඔහු කීවේ තමා කොළඹින් පිට සිටින බැවින් මට යතුර දීමට අතිරේක ලේකම් කෙනකු පැමිණෙන බවයි.

අතිරේක ලේකම් පැමිණෙන තුරු මා බිම් මහලේ සිටින විට කොළඹ නාගරික මන්ත්‍රිවරයකු වන කුලතිස්ස දීගනගේ පැමිණ මට අසභ්‍ය වචනයෙන් බැන වැදුණු අතර මට පහර දීමට ද උත්සාහ කළා. එවිට ඛනිජ තෙල් සංස්ථා ආරක්‍ෂක නිලධාරීන් සහ මගේ ආරක්‍ෂක නිලධාරීන් ඔහු එතැනින් ඉවත් කළ අතර ඒ අවස්ථාවේ ඔහු බීමතින් සිටි බව ද කිව යුතුයි.

අතිරේක ලේකම් පැමිණෙන තෙක් බිම් මහලේ ඇති සන්නිවේදන හා අලෙවිකරණ කාර්යාලයේ රැඳී සිටින ලෙස මගේ ආරක්‍ෂක නිලධාරීන් මට උපදෙස් දුන් බැවින් මා ඒ අනුව ක්‍රියා කළා. ඉන් විනාඩි පහළොවකට පමණ පසු කුලතිස්ස දීගනගේ සහ වැඩ තහනමකට ලක් වූ සංස්ථා සේවකයකු වන බන්දුල සමන් කුමාර ද එම ස්ථානයට පැමිණියා. ඒ සමඟම පොලු මුගුරු සහ ක්‍රිකට් පිති රැගත් අති විශාල පිරිසක් ද ඔවුන් සමඟ පැමිණියා. මෙම පිරිස මට අසභ්‍ය වචනයෙන් බැන වදිමින් මා මරා දමන බවට තර්ජනය කළා.

මේ මැර පිරිස මා සිටි කාමරයේ ‍ෙදාර කඩා ඇතුළු වීමට උත්සාහ කළ අතර මගේ නිල ආරක්‍ෂක භටයන් තිදෙනෙක් ඔවුන් වැළැක්වීමට උත්සාහ කළා. යකඩ පොලු රැගත් මැරයන් මගේ ආරක්‍ෂක භටයන්ට පහර දෙමින් හා මරන බවට කෑ ගසමින් මා සිටි කාමරයට ඇතුළු වීමට දිගින් දිගටම උත්සාහ ගත් අතර මැර පිරිසේ පහර කෑමට ලක්වුණු මගේ එක් ආරක්‍ෂක භටයෙක් ඇද වැටෙනවා මා දුටුවා. ඒ සමඟම වෙඩි පහරවල් කිහිපයක් ද ඇසුණා. ඉන් පසු මැර පිරිස එතැනින් පැන දුවනු මා දුටුවා.

ටික වේලාවකට පසු පොලිස් විශේෂ කාර්ය බළකා භටයින් පිරිසක් එතැනට පැමිණ මැර කණ්ඩායම සංස්ථා භූමියෙන් ඉවත් කිරීමට උත්සාහ ගත්ත ද එය අසාර්ථක වුණා. මැර පිරිස පැය තුනකට අධික කාලයක් මා කාමරය තුළ සිරකර තැබූ අතර මා නිරුපද්‍රිතව ඉන් ඉවතට ගෙන යෑමට දැඩි උත්සාහයක් දැරීමට විශේෂ කාර්ය බළකා භටයන්ට සිදුවුණා.

මේ අවස්ථාවේදී මැර පිරිසට වෙඩි තබන ලෙස මා නියෝග කළ බවට ඇතැම් අය අසත්‍ය ප්‍රචාර කරනවා. මා එවැනි නියෝගයක් නොදුන් බවත් කාමරයක සිරවී සිටි මා හට එවැනි නියෝගයක් දීමේ හැකියාවක් නොවූ බවත් කිව යුතුයි. ඒ වගේම මම මැර පිරිසට පහර දුන් බව ද ඇතැමුන් කියනවා.

කෙසේ නමුත් මේ අවාසනාවන්ත සිද්ධිය නිසා ජීවිතයක් නැති වුණා. ඔහුගේ පවුලේ සාමාජිකයන්ට මාගේ කනගාටුව පළ කරනවා. මැර පිරිසේ අරමුණ වූයේ මා මරා දැමීමයි. මා අද ජීවතුන් අතර සිටින්නේ මගේ ආරක්‍ෂක භටයන් මැදිහත් වූ නිසයි. මේ අහිමි වූ මිනිස් ජීවිතයේ වගකීම පැවරෙන්නේ මැර ප්‍රහාරය සංවිධානය කළ අයට සහ ඒ පිටුපසින් සිටි අයටයි.

"එබැවින් මේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් පවත්වා සම්පූර්ණ සත්‍යය රටට හෙළිදරව් කරන ලෙස මා බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා."

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon