අර්ජුන් ඇලෝසියස් හා කසුන් පලිසේන 21දා තෙක් යළි රක්‍ෂිත බන්ධනාගාරයට

  👤  283 readers have read this article !
By mawbima 2018-11-09

අමිල අබේරත්න

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවලදී අක්‍රමිකතාවන් සිදුකර රජයට මූල්‍යමය පාඩුවක් සිදුකළා යැයි චෝදනා ලැබ සැකකරුවන් වී සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු ලෙස සැලකෙන අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන යන දෙදෙනා ලබන 21 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (08දා) නියෝග කළේය.

බැඳුම්කර සිද්ධියට අදාළ නඩුව යළි කැඳවූ අවස්ථාවේ මහෙස්ත්‍රාත්වරයා එලෙස නියෝග කෙරිණි.

බැඳුම්කර නිකුතුවන්ට අදාළ සංවාද, හඬපට විකෘති කර ඇතැම් කොටස් ඉවත් කර ජනාධිපති මහ බැංකු බැඳුම්කර කොමිසමට ලබාදීමේ සිද්ධිය මෙහෙයවීම සම්බන්ධව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන යන දෙදෙනාට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන්ද අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යන අය ලබන මස 21 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවලදී අක්‍රමිකතාවන් සිදුකර රජයට මූල්‍යමය පාඩුවක් සිදුකළා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් යන අයටද චෝදනා එල්ලවී ඇති අතර සිද්ධියට අදාළව ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අධිකරණය මඟින් වරෙන්තුවක්ද නිකුත් කර ඇත. හිටපු මහ බැංකු අධිපතිවරයා සිංගප්පූරුවේ ජීවත් වන බවට තොරතුරු අනාවරණය වී තිබේ.

කොටුව මහෙස්ත්‍රාත්වරයා බැඳුම්කර සිද්ධියට අදාළ නඩුව වෙනත් මහෙස්ත්‍රාත්වරයකු හමුවේ කැඳවන ලෙසට අධිකරණ සේවා කොමිෂන් සභාවට ඉල්ලීමක් කර ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරන අතර ඊයේ (8දා) දින නඩුවේ බොහොමයක් කරුණු පිළිබඳ සාකච්ඡා කරනු ලැබුවේද මහෙස්ත්‍රාත් නිල මැදිරිය තුළදීය.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ සභාපති අර්ජුන් ඇලෝසියස් යන අයගේ පියා වන ජෙෆ්රි ඇලෝසියස් යන අය මේ මස 9 වැනිදා සිට 21 වැනිදා දක්වා විදේශ ගතවීමට තාවකාලිකව අවසර ලබාදෙන ලෙස අධිකරණයෙන් කළ ඉල්ලීමකට අවසර දීම සඳහා පමණක් විවෘත අධිකරණයේදී නඩුව කැඳවනු ලැබිණි. ඔහුට අධිකරණය මඟින් පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව හෝ නඩුව පවරා ඇති පැමිණිලි පාර්ශ්වය වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විරෝධතාවක් දැක්වූයේ නැත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon