ප්‍රධාන ගංගා ආශ්‍රිතව ගංවතුර අවදානමක් මතුවෙලා

  👤  936 readers have read this article !
By mawbima 2018-11-09

ඉෂාරා සිල්වා, ශලනි වෙත්තසිංහ

දින කිහිපයක සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ප්‍රධාන ජලාශ කිහිපයක් තවමත් වාන් දමමින් පවතින අතර ප්‍රධාන ගංගා කිහිපය ආශි්‍රතව ගංවතුර අවදානමක් මතුව තිබේ.

දැදුරු ඔය, රාජාංගණය, තබ්බෝව, පරාක්‍රම සමුද්‍රය, නාච්චදුව වැව, නුවර වැව, අංගමුව, මහ කනදරාව, කලාවැව සහ දඹුලු ඔයේ වාන් ‍ෙදාරටු තවමත් විවෘතව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවැසුවේය.

මහවැලි ගඟේ ජල මට්ටම මනම්පිටිය ප්‍රදේශයෙන් ඉහළ යමින් පවතින බැවින් ඒ ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන ජනතාවට අවධානයෙන් පසුවන්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

කැලණි ගඟේ ජල මට්ටම හොලම්බුව ප්‍රදේශයේදී ඉහළ ගොස් ඇති අතර යාන් ඔයේ ජල මට්ටම හොරොව්පතාන ප්‍රදේශයෙන් ඉහළ ගොස් තිබේ. නාච්චදුව සහ නුවර වැවේ හදිසි වාන් ‍ෙදාරටු විවෘත කිරීමත් සමඟ එම ජලය මල්වතු ඔයට එක්වීමෙන් ඔය පිටාර ගැලීමට පටන්ගෙන ඇත.

නිල්වලා ගඟ පානදුගම ප්‍රදේශයෙන් පිටාර ගලමින් තිබෙන අතර අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන් පිටාර මට්ටමට ආසන්න වී තිබේ.

මේ අතර නාවලපිටිය අනුරුද්ධ කුමාර ජාතික පාසලේ ගොඩනැඟිල්ලක් නාය යෑමේ අවදානමකට ලක්වීම හේතුවෙන් එම ගොඩනැඟිල්ලේ සිටි සිසුන් ඉවත් කිරීමට කටයුතු යොදා ඇත. බදුල්ල - සිංහපුර එකේ කණුව ප්‍රදේශයේ නිවෙසකට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම නිවෙසට දැඩි අලාභහානි සිදු වී තිබේ.

අධික වර්ෂාව හේතුවෙන් මුලතිව් සහ වවුනියාව යන ප්‍රදේශයන්හි තාවකාලික නිවාසවල ජීවත්වන ජනතාව පීඩාවට පත්ව ඇත.

මේ අතර පවතින අධික වර්ෂාවත් සමඟ පොළොන්නරුව - සෝමාවතිය මාර්ගය දික්ගල ප්‍රදේශයෙන් අඩි 04ක් ජලයෙන් යටවීම හේතුවෙන් පූජා නගරයට පැමිණෙන රථ වාහනවලට බාධා එල්ල වී තිබේ.

දිවයිනට නිරිත දෙසින් පවතින අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට ගමන් කිරීම හේතුවෙන් හෙට (10දා) සිට වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුර, උතුරු මැද, නැඟෙනහිර සහ දකුණු පළාත්වලට අද (09දා) විටින්විට වැසි ඇතිවිය හැකි බවත් සබරගමුව සහ මධ්‍යම පළාත් මෙන්ම ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලට මිලිලීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

අවසන් වූ පැය 24 තුළ වැඩිම වාර්ෂාපතනය වාර්තා වී ඇත්තේ කිලිනොච්චි දිස්ත්‍රික්කයෙනි. ඒ මිලිමීටර් 137.5ක් ලෙසය.

මේ අතර කන්කසන්තුරේ සිට පුත්තලම හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 80 දක්වා ඉහළ යා හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

වර්ෂාව හේතුවෙන් බස්නාහිර, මධ්‍යම, සබරගමුව පළාත්වල ඇතැම් ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් තත්ත්වයක් දැකිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කඳුකර ප්‍රදේශයේ පවතින අධික වැසි හේතුවෙන් නාය යෑම් අවදානම් ඇති විය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන අතර ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක 04ක් සඳහා නිකුත් කළ නාය යෑම් නිවේදනය තවදුරටත් වලංගු වන බවද සඳහන් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon