පොලු මුගුරුවලින් හා අතින් පයින් පාලිත තෙවරප්පෙරුම ඇතුළු පිරිසක් පහරදී අගලවත්ත ප්‍රා. සභා මන්ත්‍රි වින්දික රෝහලේ

  👤  960 readers have read this article !
By mawbima 2018-11-09

කොළඹ - එම්.සී. පෙරේරා

හිටපු වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු පිරිසක් අතින් පයින් හා පොලු මුගුරුවලින් පහර දීමකින් අගලවත්ත ප්‍රාදේශීය සභා මන්ත්‍රි වින්දික කරුණාසේන මහතා තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.

මතුගම යට‍ෙදාළ හන්දිය ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුව තිබේ.

පාලින්දනුවර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරුන් දෙදෙනකු සමඟ වින්දික කරුණාසේන මහතා ඊයේ (8දා) ගාලු මුව‍ෙදාර පැවැති රථ පෙළපාළියට සහභාගි වීම සඳහා සූදානම්ව පැමිණෙමින් සිටියදී ඔවුන් පැමිණි වාහනය පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රිවරයාගේ නිවෙස ආසන්නයේ නතර කර සිටියදී පහරදීම සිදු වූ බව මන්ත්‍රිවරයා පොලිසියට කළ ප්‍රකාශයේ සඳහන්ව තිබේ.

තෙවරප්පෙරුම මහතාගේ නිවෙස අසලදී වාහනයෙන් බැස සිටි තමා වෙත පැමිණි තෙවරප්පෙරුම මහතා 'උඹ මොකද කරන්නේ' යැයි විමසමින් පරුෂ වචනයෙන් බැන වදිමින් මුහුණට හා ගෙල ප්‍රදේශයට පහර දුන් බවත් සපත්තු පැලඳ සිටි ඔහු තම උදරයට පයින් පහරදුන් බවත් තුවාලලත් මන්ත්‍රිවරයා පොලිසියට කළ ප්‍රකාශයේ සඳහන් වෙයි.

තෙවරප්පෙරුම මහතා පහර දෙන අතරදී ඔහුගේ පුතා හා තවත් පුද්ගලයන් තිදෙනකු පොලු මුගුරු රැගෙන එම ස්ථානයට දිවවිත් ඒවායින්ද තමාට පහරදුන් බව වින්දික කරුණාසේන මහතා පොලිසියට කළ ප්‍රකාශයේ සඳහන් වන බව පොලිස් ආරංචි මාර්ග කියයි.

පිරිස එසේ වටකර ගෙන පහර දෙද්දී තමා දිව ගොස් වාහනයට නැඟුණ බවත් ඒ අවස්ථාවේ 'ඕකව මරපන් මරපන්' යැයි තෙවරප්පෙරුම මන්ත්‍රිවරයා මහ හ¾ඩින් පැවැසූ බවත් ඔහුගේ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වේ.


විනාඩි දහයක පමණ කාලයක් වාහනය තුළට වී සිටියද එහිදීත් කකුලෙන් ඇද පහරදුන් බවත් 'මම පපුවෙ අමාරුකාරයෙක්. ගහන්න එපා. ගහන්න එපා' යනුවෙන් තමා කෑ ගැසූ බවත් එහි සඳහන්ය. ඒ අවස්ථාවේ ඔවුන් තම පපුවටම පහරදී කකුල් දෙක වාහනයෙන් පිටතට දමා එහි ‍ෙදාර කිහිප වරක්ම තදින් වැසූ බවත් මන්ත්‍රිවරයා පොලිසියට කළ ප්‍රකාශයේ සඳහන් වන බව පොලිසිය කියයි.

තමා ඉකුත් මැතිවරණයේදී අගලවත්ත එජාප සංවිධායක පී.ඩී. අබේරත්න මහතාට සහාය දැක්වීමට විරෝධය පා මෙම පහරදීම කළ බව පහර කෑමට ලක් වූ වින්දික කරුණාසේන මහතාගේ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වේ.


හිටපු වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඉකුත් 1 වැනි දින නීතිඥ අජිත් ප්‍රසන්න මහතාට පහරදීමෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ශරීර ඇප මත මුදා හැරිණි.

මතුගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. සේනාරත්න මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අයි.එම්.එස්. බණ්ඩාර මහතා පරීක්ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon