හකීම් මක්කම යන්න කලින් මෛත්‍රි හමුවෙලා

  👤  2649 readers have read this article !
By mawbima 2018-11-09

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා අතර සාකච්ඡාවක් පැවැති බව වාර්තා වේ.

පෙරේදා (07දා) සවස 6.00ට පමණ මෙම හමුව සිදු වී තිබෙන්නේ හකීම් මහතා එදින මක්කම වන්දනාව යෑමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.

වර්තමාන දේශපාලන තත්ත්වය සහ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ රවුෆ් හකීම් මහතා අතර සැලකිය යුතු වේලාවක් සාකච්ඡාව පැවැති බව වාර්තා වේ.

මෙදින රාත්‍රි 10.00ට පමණ හකීම් මහතා ඇතුළු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 07 දෙනකු මක්කම බලා පිටත්ව ගොස් තිබේ.

මීට අමතරව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු එහි පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 05 දෙනකු 07 වැනිදා දහවල් 2.00ට පමණ මක්කම බලා පිටත්ව ගොස් තිබේ.

දේශපාලන අර්බුදකාරී අවස්ථාවලදී යම් යම් දේශපාලන තීන්දු ගැනීමට පෙර සම්ප්‍රදායක් ලෙස මක්කම ගොස් යාඥා කර ආශීර්වාද ලබා ගැනීම මුස්ලිම් නායකයන්ගේ සිරිතක් බවත් ඒ අනුව මෙම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 12 දෙනාම මක්කම ගිය බවත් ලබන 11 වැනිදා ඔවුන් මෙරටට පැමිණීමට නියමිත බවත් එම දේශපාලන පක්ෂ දෙකේ නියෝජිතයෝ දෙදෙනෙක් 'මව්බිම'ට ප්‍රකාශ කළහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon