මෛත්‍රි එක්ක ආයෙත් වැඩ කරන්න කැමැතියි

  👤  2661 readers have read this article !
By mawbima 2018-11-09

පාර්ලිමේන්තුවේදී බහුතරය පෙන්වීමෙන් පසු ඔක්තෝබර් මස 26 වැනිදා හදිසියේම තමාව නෙරපා හැරීමට කටයුතු කරන ලද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමඟ එක්වී කටයුතු කිරීමට තමා අපේක්ෂා කරන බව රනිල් වික්‍රමසිංහ මහතා 'හින්දු' පුවත්පතට ප්‍රකාශ කොට තිබේ.

එම පුවත්පතෙහි මාධ්‍යවේදිනී මීරා ශ්‍රී නිවාසන් කළ විමසුමකදී රනිල් වික්‍රමසිංහ ඒ බව ප්‍රකාශ කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් පෞද්ගලික නිගමනයන්ට එළැඹීමට ප්‍රතිපාදන සපයා නොමැති බවද ඒ හේතුවෙන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සමඟ කටයුතු කිරීමට තමාට කිසිදු ගැටලුවක් නොමැති බවද රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

ඉදිරියේදී බහුතරය පාර්ලිමේන්තුව තුළ පෙන්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සමඟ එකට වැඩ කිරීමට තමා හට හැකියාව තිබේදැයි මාධ්‍යවේදිනිය විමසා සිටි අවස්ථාවේදී වික්‍රමසිංහ මහතා එසේ ප්‍රකාශ කර ඇත.

පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වීමට අවස්ථාව ලබාදෙනතුරු මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පිළිගැනීමට සූදානමක් නොමැති බවද ඒ බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය මහතා සිදුකරන ලද ප්‍රකාශයෙන් පෙන්වා දී ඇතැයිද එම ප්‍රකාශය තුළින් පාර්ලිමේන්තුවේ බලය උසස් බව පෙන්වා දී ඇතැයිද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

මෙම කරුණ පිළිබඳව අධිකරණයට යා නොහැකි මන්දැයි මාධ්‍යවේදිනිය විමසා සිටි අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉන්දියාවට වඩා වෙනස් බවයි. එසේ කළහොත් මෙම ප්‍රශ්නය විස¼දා ගැනීම සඳහා යළි පාර්ලිමේන්තුවට යෑමට සිදුවන බවය.

ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ මහින්ද රාජපක්ෂ මහතාට බහුතරය පෙන්වීමට හැකියාවක් නොමැති බවද ඔහුට ඒ සඳහා අවශ්‍ය සංඛ්‍යාව තවමත් නොමැති බවද ප්‍රකාශ කර ඇති වික්‍රමසිංහ මහතා එහිදී පෙන්වාදී ඇත්තේ මේ තත්ත්වය තුළ තමා කල්පිත ගැන නොදන්නා බවත් සත්‍ය තත්ත්වය පිළිබඳව පමණක් කතා කරන බවත්ය.

පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වීම සඳහා තමාට හැකියාව ඇති බවද එය පෙන්වීම සඳහා පාර්ලිමේන්තුව ඉක්මනින් කැඳවීමට බල කරන බවද ඔහු ප්‍රකාශ කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon