අහිංසක ජනතාව පාවිච්චි කරන්න එපා මේ අර්බුදයට විසඳුමක් ගන්න අධිකරණයට යන්න

  👤  2783 readers have read this article !
By mawbima 2018-11-09

වත්මන් දේශපාලන අර්බුදයට ඇති හොඳම විසඳුම ශේ‍ර්ෂ්ඨාධිකරණයට යෑම බව ජාතික ක්‍රිකට් ක්‍රීඩකයකු වූ මුත්තයියා මුරලිදරන් පවසයි.

එසේ නොමැතිව ඒ සඳහා අහිංසක ජනතාව පාවිච්චි කිරීම නොකළ යුතු බවද හෙතෙම කියා සිටී.

'බීබීසී - සිංහල සේවයේ' මෙරට නියෝජිත මාධ්‍යවේදී අසාම් අමීන් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් මුරලිදරන් මේ බව සඳහන් කළේය.

ක්‍රිකට් ක්ෂේත්‍රයේ මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේද අර්බුද පැන නැඟී තිබෙන මොහොතක ඒ සම්බන්ධයෙන් ඔහු දරන මතය කවරේදැයි අසාම් අමීන් කළ විමසුමකදී මුරලිදරන් මෙසේද ප්‍රකාශ කළේය.

දැන් තියෙන අර්බුදයට හොඳම විසඳුම ලෙස මම දකින්නේ සුප්‍රීම්කෝට් ඒකට ගිහිල්ලා නඩුවක් දාලා මේ ප්‍රශ්නය විසඳගන්න එකයි. මේකට රටේ මිනිස්සුත් පටලවා ගන්න එපා. ඒ අය අහිංසක මිනිස්සු. අද ඉන්නවා 60%ක් විතර දවසෙ පඩියට වැඩ කරන කට්ටිය. මොනව හරි ප්‍රශ්නයක් ඇති වුණාම ඒ කට්ටියට කන්න නෑ. අද ඔය ටැමිල් මිනිස්ටර්ස්ලා කතා කරනවා අයිතිය ගැන. ඉස්සර වෙච්ච දේවල් ගැන ප්‍රජාතන්ත්‍රවාදය ගැන.

පහුගිය සති දෙකකට කලින් කිලිනොච්චියේ ගෑනු දරුවකු සියදිවි නසා ගත්තා. ඒකට හේතුව තමයි පාසල් යුනිෆෝම් එකේ ප්‍රශ්නයක්. දැන් තියෙන වවුචර් එකට දෙන රෙදි ඇඳුම මහගන්න ප්‍රමාණවත් නෑ. ඒක මහන්න සල්ලි නෑ. කවුද ඒ ගැන කතා කළේ. ඒක බලන්න ඒ ගැන අද කතා කරන එක්කෙනෙක්වත් නෑ. කවුරුත් දන්නෙත් නෑ.
මේ රටේ 70%ක් ජීවත් වෙන්නෙ බොහොම අමාරුවෙන්. රටේ ඉස්සරවෙලාම බලන්න ඕනෑ තුන්වේල කන්න පුළුවන් විදිය. ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය ඒවා බලන්න ඕනෑ දෙවැනුවයි. ඒ වගේම ඉස්කෝලේ යනකොට ළමයින්ට ඉගෙනීමක් බුද්ධියක් දෙන්න ඕනෑ. ඒවයි බලන්න ඕනෑ.

අසාම් අමීන් යොමු කළ ප්‍රශ්න කිහිපයකටද මුත්තයියා මුරලිදරන් මෙහිදී පිළිතුරු දුන්නේය.

උතුරේ දේශපාලනඥයන් කියන්නේ ඔවුන්ට දේශපාලන විසඳුමක් ඕනෑ කියලයි?

මොනවද උතුරට ලබාදෙන්න පුළුවන් දේශපාලන විසඳුම. මට කියන්න බලන්න. වැරැදි දේවල් වුණා. දෙපැත්තෙන්ම පොලිටිකල් ගේම් එකේදී අයුතු ප්‍රයෝජන අරන් තමයි මිනිස්සුන්ට මෙහෙම කළේ. ඒ පැත්තෙ මිනිස්සු මැරුණා. එහෙන් මේ පැත්තට බෝම්බ දාන කොටත් මිනිස්සු මැරුණා. කැක්කුම තියෙනවනේ ඒ අම්මලා තාත්තලාටත්. දෙපැත්තටම ඒ දේ වුණා.

2009න් පස්සේ ඒ ගොල්ලෝ ඉල්ලනවා අපේ ප්‍රජා අයිතිය නෑ. අරක නෑ. මේක නෑ. ඇත්ත කියන්න සාධාරණ වෙන්න එපැයි අපිත්. 80% ඉන්නෙ බෞද්ධ කට්ටිය. ඒ ගොල්ලන්ට මේ රට අයිතියි. අපි කොච්චර නෑ කිව්වත් අපි සුළු ජාතිකයො. දැන් මුස්ලිම්, සිංහල, බර්ගර් කියලද ඒ අය මට සැලකුවේ.

මේගොල්ලන් කරන්නෙ බොරුවට මෙතනට ඇවිල්ලා, අපි පෙනී සිටිනවා කියනවා. නමුත් සාමාන්‍ය මිනිහා ගැන බලලා නෑ. නම් කියන්න කැමැති නෑ. මේ රටේ හිටපු ජනාධිපතිවරුන් දෙන්නකු විතරයි දුප්පත් මිනිසුන් ගැන බැලුවේ.

අගමැති වේවා, මුදල් ඇමැති වේවා ඇයි අපි පාර්ලිමේන්තු යවන්නේ. අපිට යහපතක් කරයි කියලා හිතාගෙන. එයාලට අපිට කියන්න බෑ ණය ගත්තු හින්දා මේක කරන්න බෑ කියලා. දුන්න වැඩක් කරන්නේ නෑ. නිදහසට කරුණු හොයන්න බෑ. බැරි නම් දාලා යන්න ඕනෑ.

යුද්ධයෙන් අතුරුදන් වෙච්ච අයගේ පවුල්වලට විසඳුමක් දෙන්න ඕනෑ නැද්ද?

කොහොමද විසඳුමක් දෙන්නේ. ඒ ගොල්ලන්ටත් මේ ගොල්ලන්ටත් උත්තර නැතුව ඇති. එකම විසඳුමක් තියෙනවා. ඒ අයට ජීවනෝපායක් හදලා වන්දි දෙන්න ඕනෑ ඒ කට්ටියට විතරක් නොවෙයි ආමි එකේ කට්ටියටත්.


හුඟාක් වෙලාවට දේශපාලනඥයන්ට බනිනවා. ඔවුන් මේ දේවල් කරන්නෙ නෑ කියලා. හොඳ අය දේශපාලනයට එන්නේ නෑ නේද?

එහෙම කියන්න බෑනේ. හොඳ නරක කොහොමද තෝරන්නේ. සමහරුන් කියන ඒවා බොරු වෙන්න පුළුවන්නේ.

මෙයා ලක්ෂ 50ක් ගත්තා. මෙයා කොමිස් ගැහුවා. ඒවා ඔක්කොම පැත්තකට දාලා දේශපාලකයො එක දෙයක් හිතන්න ඕනෑ. දරුවෙක් බඩගින්නේ ඉන්නකොට ඒක නිවන්න පුරුදු වෙන්න. බැරි නම් දාලා යන්න.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon