14 වැනිදා අපි පාර්ලිමේන්තුවෙන් එළියට එන්නේ ජයග්‍රාහීවයි

  👤  2717 readers have read this article !
By mawbima 2018-11-09

පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය සැකසීම, අසුන් පැනවීම බහුතර බලය විමසීම කතානායකතුමා සතු කාර්යභාරය බවත්, මන්ත්‍රිවරුන් 225ටම නායකයා වන්නේ කථානායකවරයා බවත් 14 දා තම කණ්ඩායම පාර්ලිමේන්තුවෙන් එළියට එන්නේ මෙම අර්බුදය නිමා කර ජයග්‍රාහී විසඳුමක් අතැතිව බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී. පෙරේරා අවධාරණය කරයි.

අරලියගහ මන්දිරයේ විශේෂ මාධ්‍ය ඒකකයේදී ඊයේ (08දා) පැවැති මාධ්‍ය හමුවේදී මෙම අදහස් පළ කළ මන්ත්‍රිවරයා රට විනාශයට පත් කරමින් ව්‍යවස්ථා විරෝධී ලෙස බලහත්කාරයෙන් බලය ලබාගත නොහැකි බව ජනාධිපතිවරයාට සහ මහින්ද රාජපක්ෂ පාර්ශ්වයට අමතක නොවන පාඩමක් ඉගෙන ගැනීමට එදින හැකිවනු ඇතැයිද සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් පළ කරමින් මන්ත්‍රිවරයා මෙසේද සඳහන් කළේය.

මාධ්‍ය වඩාත් ස්වාධීනව තම යුතුකම ඉටු කරනු ඇතැයි අපේ විශ්වාසය. ගතවූ දින කිහිපය තුළ රාජ්‍ය මාධ්‍යට මෙන්ම පෞද්ගලික මාධ්‍යට එල්ල වූ බලපෑම් හා පීඩාවන් ගැන අමුතුවෙන් කිවයුතු නැහැ. ගතවූ වසර තුනහමාරක කාලය තුළ අප මාධ්‍යට පූර්ණ නිදහස ලබාදී ස්වාධීනව කටයුතු කරගෙන යෑමට අවශ්‍ය පරිසරය සකස් කර දුන්නා පමණක් නොව කිසිම මාධ්‍යායතනයකට බලපෑම් කරන්න අප කටයුතු කළේ නැහැ.

ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක්ව මේ රටේ බලහත්කාරයෙන් ඇති කිරීමට ගිය රැල්ල අඩපණ කරන්නට අපට හැකිවුණා. නීති විරෝධී අගමැතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හරින්න උත්සාහ කළා. ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව කැඳවන්න, විසුරුවා හරින්න බලය ඇත්තේ ඒ සඳහාවූ නීතිමය ප්‍රතිපාදනවලට අනුකූලව පමණයි. 70 ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අනුව අවුරුදු හතරහමාරක් ගතවනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රි කරුණාරත්න පරණවිතාන,
කථානායකතුමාට මඩ ගසන්නට එතුමාට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි කරනවා. ගෞරවනීය පුරවැසියකු වශයෙන් එතුමා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් ඉදිරියට ගෙන යෑමට අභීතව කටයුතු කරනවා. අද ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධී ජනමත විචාරණයක් ගැන කතා කරන්නේ ඔහු කළ තක්කඩිකම් වසාගන්නයි.

අපි මැතිවරණවලට බය නෑ. මැතිවරණ තියන්න නම් 26දා වන විට රට තිබූ තත්ත්වයට පත්කළ යුතුයි.14දාත් මේ ප්‍රශ්නය කල් දමා ගන්න ජනාධිපතිවරයා උත්සාහ කරනවා. දැන් කියනවා පාර්ලිමේන්තුවේ බහුතරය ඕනෑ නැහැ කියලා. ඇයි එහෙම කියන්නේ බහුතරය ඒ අය ළඟ නැති නිසා. ඔවුන් මේ සූදානම් වන්නේ පරණ පුරුදු විදිහට ඒකාධිපතිවාදයේ රස බලන්නයි.

පක්ෂ නායක රැස්වීමෙන් පසු කථානායකතුමා ඊයේ නිවේදනයක් නිකුත් කළා. එතුමා ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන පරිණත නායකයෙක් හැටියට එතුමා කලින් කළ ප්‍රකාශයට අනුකූලව කටයුතු කරන බව අපට විශ්වාසයි. බැරිවෙලාවත් පාර්ලිමේන්තුව විසිරුවන්න ජනාධිපතිවරයා උත්සාහ කළොත් අපි නීතියේ බලයෙන් වගේම ජනතා බලයෙන් එය පරදවනවා. විධායකය, ව්‍යවස්ථාදායකයට හා අධිකරණයට පාර්ලිමේන්තුව යටත් නැහැ.

පාර්ලිමේන්තු මන්ත්‍රි හරින් ප්‍රනාන්දු,
මනූෂ නානායක්කාර මහතා සහාය දුන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට හෝ එක්සත් ජාතික පක්ෂයට නොව මේ රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට හා ජනතා පරමාධිපත්‍යයටයි.

උපතිස්ස පෙරේරා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon