ජාතික සංචිතයේ ක්‍රීඩකයන්ට කෑමත් නෑ: සල්ලිත් නෑ

  👤  2508 readers have read this article !
By mawbima 2018-11-09

විචිත්‍ර වීරසිංහ

මලල ක්‍රීඩාවද ඇතුළු සෙසු ක්‍රීඩාවල යෙදී සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ක්‍රීඩා නේවාසිකාගාරයෙන් නොමිලේ ලබාදුන් ආහාර වේල හා පෝෂණ දීමනා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් අත්හිටුවීම හේතුවෙන් එම ක්‍රීඩක-ක්‍රීඩිකාවන් බලවත් දුෂ්කරතාවට පත්ව ඇතැයි "මව්බිම"ට වාර්තා වේ.

ඒ අනුව ජාතික සංචිතයේ සිටින ක්‍රීඩක-ක්‍රීඩිකාවන් වෙනුවෙන් ඉදිකළ ක්‍රීඩා නේවාසිකාගාරයේ සිට පුහුණුවීම් කටයුතු කරන ක්‍රීඩික-ක්‍රීඩිකාවන් සඳහා නොමිලේ ආහාර පාන ලබාදීම පසුගිය වසර ගණනාවක සිටම අඛණ්ඩව සිදුවුණද මේ වසරේ අප්‍රේල් මාසයේ සිට එම ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ට ලබා දුන් පෝෂණ දීමනාව නතර කර තිබේ.

තවද මෙම නේවාසිකාගාරයේ පුහුණුවීම් කළද ආහාර නොගත් ක්‍රීඩකයන් සඳහා ලබා දෙන ආහාර දීමනාවද පසුගිය අගෝස්තු මස සිට නතර කර ඇති අතර, නැවතත් එම පෝෂණ දීමනාව හා ආහාර පාන දීමනාව ලබාදීමට තීරණය කර ඇත්තේ ලබන වසරේ පැවැත්වෙන තේරීම් තරගාවලියෙන් පසුව බවද දැනගන්නට ඇත.

ආසියානු ශූරතා තරගාවලියට සහභාගි වන ක්‍රීඩක-ක්‍රීඩිකාවන් වෙනුවෙන් ලබන වසරේ මුල් කාලයේදී පැවැත්වෙන මෙම තේරීම් තරගාවලියට පෙර ක්‍රීඩක-ක්‍රීඩිකාවන් සිය ආබාධ තත්ත්වයට ප්‍රතිකාර කරමින් හා තාක්‍ෂණික ගැටලු නිරාකරණය කරගනිමින් ලබන වසරට යහපත් ශාරීරික යෝග්‍යතාවකින් යුතුව සූදානම් වීම සඳහා ඉදිරි මාස තුන (නොවැම්බර් සිට ජනවාරි දක්වා) වැය කරන අතර, තරග නැති සමයේදී ආහාර පාන හා පෝෂණ දීමනා ලබාදීම මුදල් නාස්තියක් ලෙස අමාත්‍යාංශයේ සිටින අදූරදර්ශී නිලධාරීන් සිතන්නේ නම් එය මෝඩකමකි.

කෙසේ වෙතත් ඕනෑම මවු සංගමයටද තම ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ගේ අවශ්‍යතා සොයා බලා ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමේ වැඩි වගකීමත් පැවරුණද ක්‍රිකට් ක්‍රීඩාව හැරෙන්නට සෙසු සියලුම සංගම් ක්‍රීඩා අමාත්‍යාංශය මත යැපෙමින් සිටීමද යම් ක්‍රීඩාවක් එකතැන පල්වීමට එක් හේතුවකි.

ක්‍රීඩා සංගම්වල නිලධාරීන් පත්විය යුත්තේ පුටු රත් කිරීමට හෝ වරප්‍රසාද භුක්ති විඳීමට නොව ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ගේ අවශ්‍යතා පිළිබ¼ඳව සොයා බලා කටයුතු කිරීමට බව ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා එක් අවස්ථාවක සඳහන් කර තිබුණද මෙරට ක්‍රීඩා සංගම්වල නිලධාරීන් එම කරුණට සාධාරණයක් ඉෂ්ට කරන තෙක් දකුණු ආසියානු මට්ටමෙන් එහාට ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක සොයා ගැනීම ඉතාමත් දුෂ්කර කාර්යක් බව පෙන්වා දිය යුතුව ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon