අලි රොෂාන් ඇතුළු 7 දෙනකුට එරෙහි නඩුව නඩුව ලබන 28 වැනිදා කැඳවයි

  👤  2500 readers have read this article !
By mawbima 2018-11-09

කේ.එස්. උදයකුමාර්

බලපත්‍ර නොමැතිව අලි ඇතුන් හතරදෙනකු සන්තකයේ තබාගෙන ජාවාරම් කළේ යැයි චෝදනා එල්ල වී සිටින සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් හත්දෙනකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවට අදාළ ලේඛන විත්තිය වෙත නිසි පරිදි ලැබී තිබේද යන්න පරීක්ෂා කිරීම සඳහා මෙම නඩුව ලබන 28 වැනිදා කැඳවන ලෙස කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (08දා) නියෝග කළේය.

මෙම නඩුව ඊයේ දින සම්පත් අබේකෝන් (සභාපති) සම්පත් විජයරත්න සහ වම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල හමුවේ කැඳවන ලදී.

විත්තිකාර අලි රොෂාන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කරුණු දක්වමින් මෙම නඩුවේ ඇතැම් ලේඛන ඡායා පිටපත් නිසියාකාරව ලැබී නොමැති අතර ඒ සම්බන්ධයෙන් රජයේ නීතිඥවරයාගේ අවධානය යොමුකරන බව සඳහන් කළේය.

ඊට ප්‍රතිචාර දක්වමින් ජේ‍යෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා කියා සිටියේ විත්තිය ඉල්ලා සිටින ලේඛන ලබාදීමට පැමිණිල්ල සූදානම් බවයි. ඒ අනුව විත්තිය විසින් ඉල්ලා සිටිනු ලබන ලේඛන පැමිණිල්ල වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස රජයේ නීතිඥවරයාට නියෝග කළ විනිසුරුවරු එම ලේඛන ලැබී තිබේද යන්න සොයා බැලීම සඳහා නඩුව නැවත ලබන 28 වැනිදා කැඳවන ලෙස නියෝග කළේය.

බලපත්‍ර නොමැතිව අලි ඇතුන් හතර දෙනකු සන්තකයේ තබා ගනිමින් ජාවාරම් කිරීම තුළින් පොදු දේපළ පනත හා වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් හත්දෙනාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.
මෙම නඩුවේ විත්තිකරුවන් අතර වනජීවී දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂ (නීති) උපාලි පද්මසිරි හා අලි ලියාපදිංචි කිරීමේ පොත භාරව කටයුතු කළ ලිපිකාරිනියක වන බී. සංජීවනි යන අයද ඇතුළත්ව සිටිති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon