14 වැනිදාට ආණ්ඩුවේ ශක්තිය පාර්ලිමේන්තුවේදී පෙන්වනවා

  👤  2663 readers have read this article !
By mawbima 2018-11-09

ලබන 14 වැනිදා පාර්ලිමේන්තුවේදී වත්මන් ආණ්ඩුවට ඇති ශක්තිය පෙන්වීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුවත් මෙරට විධායක ජනාධිපති බලතලවල ඇති බලය බිඳී ගොස් නැති බවත් ඉන් සිදුවූයේ විධායක බලතල යම් ප්‍රමාණයක අඩුවීමක් පමණක් බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

ඊයේ (08දා) කොළඹ, මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද කීය.

අපි 14 වැනිදා පාර්ලිමේන්තුවේදී අපේ ශක්තිය අපි පෙන්වනවා. ජනාධිපතිතුමත්, අගමැතිතුමත් ඒ බව පැහැදිලි කළා.

ලංකාවේ විධායක ජනාධිපතිවරයාට 2020 ජනවාරි 9 වැනිදා දක්වා ඔහුගේ බලය තියෙනවා. තවදුරටත් විධායක බලතල සහිත ජනාධිපතිවරයාට රනිල් වික්‍රමසිංහ මහතා සමඟ වැඩ කරන්න බැරි නම්, ප්‍රතිපත්තිමය ගැළපීමක් නැත්තම් මොකක්ද ගන්න තියෙන විකල්පය?

ඔහු එජාපයේම නායකයන්ට ආරාධනා කළත්, ඒ අය ඒ ආරාධනා භාරගත්තෙ නෑ. එහෙම නම් ඊළඟ විකල්පයකට යන්න ඕනි.

කථානායකවරයා පිළිගන්නවා අගමැතිවරයා පත්කිරීමේ ගැසට් නිවේදනය. ඒ වගේම නීතිපතිවරයා ඉතා පැහැදිලිව පාර්ලිමේන්තුව කල්තැබීම පිළිබඳව හා ජනාධිපතිවරයකුට තිබෙන්නාවූ බලය පිළිබඳව දන්වා තිබෙනවා.
ඒ අනුව ඉතාම පැහැදිලියි ගැසට් පත්‍ර දෙකම නීත්‍යනුකූලයි. ව්‍යවස්ථානුකූලයි.

රට අරාජික කරන්නට උත්සාහ ගන්නේ රටේ ජනාධිපතිවරයාවත්, අගමැතිවරයාත් නෙවෙයි, තනතුරු අහිමි වූවන් ඒ තනතුරු යළි ලබාගැනීම සඳහා විවිධ අර්ථ නිරූපණයන් සපයමින් තමාගේ වාසි සලසා ගැනීමේ අරමුණින් ක්‍රියා කරන පිරිස විසින්.

2015 ජනවාරි 9 වැනිදා ජනාධිපතිතුමා ජයගත් පසු මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ සියල්ල භාරදීලා පාන්දරම මැදමුලනට ගියා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තියෙන් පෙන්වා දෙන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය පිළිබඳව. ඒ පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය වුණොත් ජනමත විචාරණයක් පවත්වනවා.

ඉතාම පැහැදිලිව කියනවා රට අරාජික වුණේ පසුගිය සමයේ රටේ විධායකයටයි, රටේ ආණ්ඩු කරන අයටයි එකට ඉඳගෙන තීන්දු ගන්න බැරි නම් අන්න එතකොටයි රට ආරාජික වෙන්නේ.

ගැසට් නිවේදන වැරැදි නම්, ශේ්‍රෂ්ඨාධිකරණයට ගිහින් ඒ පිළිබඳව විමසන්න පුළුවන්. උසාවියට ගියාම ඕක මහා කාලයක් ගතවෙන වැඩක් නෙවෙයි.

මාස දෙක තුනක් ඇතුළත ඉතාම කඩිනමින් පළාත් සභා ඡන්දය පවත්වමින් ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාවට ඡන්ද බලය ලබාදෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා

අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුදල් ඇමැතිවරයා වශයෙන් පත්කළ විට ආර්ථිකය තුළ විශාල ඉහළ යෑමක් සිදුවුණා. එජාපය වගේ පක්ෂයකට අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්නට බැහැ. සාමාන්‍ය ජනතාවට අවශ්‍ය සහන ලබාදිය යුතුයි. අද තිබෙන මේ දේශපාලන අර්බුදකාරී තත්ත්වය පහව ගිය පසු මහජනතාවට සේවාවක් කරන්න අපට හැකියාව ලැබෙනවා.

ඉෂාරා සිල්වා,
ශලනි වෙත්තසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon