2020 මාර්තු වන තුරු පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපතිට බෑ

  👤  2898 readers have read this article !
By mawbima 2018-11-09

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නම් නොපැමිණි මන්ත්‍රිවරුන්ද ඇතුළුව තුනෙන් දෙකක් මන්ත්‍රිවරුන්ගේ යෝජනා සම්මතයකින් පාර්ලිමේන්තුව විසුරුවා හරින්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ යුතු වෙනවා. එසේ නැතිව 2020 මාර්තු පළමු දින වනතුරු මේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකි යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ජයම්පති වික්‍රමරත්න මහතා පසුගියදා අගලවත්තේදී කීවේය.

පසුගිය 3දා අගලවත්ත යටියන ලංකා සම සමාජ පක්ෂ කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී හෙතෙම මේ අදහස් පළ කළේය.

එහිදී අදහස් දැක්වූ ජයම්පති වික්‍රමරත්න මහතා මෙසේද කීය.

ව්‍යවස්ථාව කියන්නේ මේ රටේ ඉහළම නීතිය බව ශේ්‍රෂ්ඨාධිකරණය මඟින් දිගින් දිගටම තහවුරු කර තිබෙනවා අය-වැය ලේඛනය පරාජය වුණොත් ආණ්ඩුව විසුරුවා හරින්න පුළුවන්කම තිබුණේ ඉස්සර. දැන් ඒවා කරන්න බැහැ. අපි ඒවා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් වෙනස් කළා. 2015 ජනවාරි 8දා ගත්ත ජනතා තීන්දුවේ ප්‍රතිඵල අන්න ඒවායි.

62 වැනි වගන්තිය අනුව අවුරුදු 4 1/2ක් යනතෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකළ යුතුයි යනුවෙන් අලුතින් එකතුව තිබෙනවා.

මේ පාර්ලිමේන්තුව රැස්වුණේ 2015 සැප්තැම්බර් පළමුදායි. 2020 මාර්තු මස පළමු වැනිදා තෙක් මේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බැහැ. විසුරුවා හරින්න නම් පාර්ලිමේන්තුවෙන් තුනෙන් දෙකක් දෙනා ඉල්ලීමක් සම්මත කළ යුතුයි.

අය-වැය පරාද වීම හෝ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පරාජය වුවහොත් විශ්වාසභංගයක් සම්මත වුවහොත් කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීම සිදුවෙනවා. පාර්ලිමේන්තුවට කිසිම දෙයක් වෙන්නේ නැහැ. 48-ඪඪ වගන්තියේ ඒ බව ඉතා පැහැදිලිව තිබෙනවා.

සමහර පුද්ගලයෝ මේවා දැක දැක මේ නීතිය දැන දැනත් ජනතාව නොමඟ යවන ප්‍රකාශ කරනවා. ව්‍යවස්ථාව ව්‍යංගයෙන් අර්ථ නිරූපණය කළ නොහැකියි. අගමැති ඉවත් කිරීමට ව්‍යවස්ථාවේ කොතැනකවත් සඳහනක් නැහැ. ඒ නිසා මේ සිදුකළ වෙනස මුළුමනින්ම ව්‍යවස්ථා විරෝධීයි. නීති විරෝධීයි.

පාර්ලිමේන්තුව කල් දැමීමේ සම්ප්‍රදාය සෑම විටම අගමැතිවරයාගෙන් සහ කථානායකගෙන් විමසිය යුතුයි. 2003දී මෙවැනි අර්බුදයක් පැමිණි විට එවක කථානායක ජෝෂප් මයිකල් පෙරේරා මහතා පාර්ලිමේන්තුවෙන් නොවිමසා කල් දැමීමට නොහැකි බව ප්‍රකාශ කළා. පසුගිය අප්‍රේල් මාසයේදී ඒ ආකාරයට කල් දැම්මා. එදා මෛත්‍රිපාල ජනාධිපතිතුමා අගමැතිතුමාටත්, කථානායකටත් කතා කරලා විමසලා කල් දැම්මා. සම්ප්‍රදාය එයයි. ඒ අනුව උපරිම මාස දෙකක් ජනාධිපතිවරයාට කල් දාන්න පුළුවන් කම තිබෙනවා.

අගමැතිවරයාගේ පැවැත්ම තීරණය කරන්නේ ජනාධිපති නොව පාර්ලිමේන්තුවයි. 19 වැනි සංශෝධනයට පෙර ජනාධිපති අගමැතිගේ පැවැත්ම තීරණය කළා. නමුත් දැන් ඒක කරන්න බැහැ.
දුර්වල මිනිස්සු හැමතැනම ඉන්නවා. ඒ අයව මුදලට වරදාන වරප්‍රසාදවලට ගන්න උත්සාහ කරනවා. ඒ සඳහා පාර්ලිමේන්තුව වහගෙන ඉන්නවා. වැඩිදෙනෙක් හොඳ අය. නමුත් දුර්වල අය කීපදෙනකු ඉන්නවා. මේ වගේ අය ගමේ, නගරයේ, පළාත් පාලන ආයතනවල වගේම පාර්ලිමේන්තුවෙත් ඉන්නවා.

රුපියල් කෝටි ගණනකට මේ දුර්වල පුද්ගලයො අහු වෙන්න පුළුවන්. ජනවරම මුදලට ගන්න බැහැ. 2015 ජනවාරි අට වැනිදා ලබාගත් ජයග්‍රහණ රැකගැනීම සඳහා අද පෙළ ගැසීමට සිදුව තිබෙනවා. තමා පැරදුණොත් අඩි 6ක් පොළව යට යවයි කියලා කියපු අය අද ඔවුනොවුන් හා එකතු වී තිබෙනවා.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මේ සිදුකළ ඔක්තෝබර් 26 වෙනසේ පළමු වින්දිතයා වන්නේ මෛත්‍රිපාල මහතාමයි. එතුමාට ශාරීරික පීඩා සිදුවන බවක් නෙවෙයි. දේශපාලන වශයෙන් පීඩාවට පත්වන්නේ ජනාධිපතිතුමායි. එතුමා හිතනවා නම් නැවත ජනාධිපති අපේක්ෂකයා වීමට රාජපක්ෂ පවුල ඉඩ දෙයි කියලා ඒක මිථ්‍යාවක් විතරයි.

යහපාලන ආණ්ඩුව පිළිබඳ අපට බරපතළ පැමිණිලි තියෙනවා. පසුගිය වසර කීපය තුළ සිදුකළ ඒවා සහ නොකළ ඒවා පිළිබඳ අපට බරපතළ කාරණා තිබෙනවා. ඒවා අපි අභ්‍යන්තරව විස¼දා ගත යුතුයි. ඒවා ප්‍රසිද්ධියේ පාරට ගේන්න අවශ්‍ය නැහැ.

මතුගම - වසන්ත කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon