සොයිසා රෝහලේ කුලුඳුලේ පිපුණු නිවුන් මල් කැකුළු හතර

  👤  3283 readers have read this article !
By mawbima 2018-11-09

පතිනියක වී කුල ගෙට පිය මනින සෑම යුවතියකගේම සිහිනය දරු සම්පතකි. කුලුඳුලේ දරු සම්පතක හීනය දුටු යුවළකට දෙවියන් දුන් තිළිණයක් ලෙසින් සිවු නිවුන් දරුවන් ලැබීමේ පුවතක් වාර්තා වූයේ කොළඹ ද සොයිසා කාන්තා රෝහලිනි.

ද සොයිසා කාන්තා රෝහලේ 16 වැනි වාට්ටුවේ සිදුවූ මේ සිවු නිවුන් දරු උපත වාර්තා පොත් අතරට එක් වනුයේ එහි සිදුවූ පළමු සිවු නිවුන් දරු උපත මෙය වන නිසාය.
ගුවන් හමුදාවේ සේවය කරන විසි නව හැවිරිදි අයේෂා දිල්හානි සහ තිස් හැවිරිදි තාවින්ද ලක්මාල් මේ වාසනාවන්ත මවුපිය යුවළයි. කුලුඳුලේම කිරි සිහිනය දකින්නට පෙරුම් පිරූ මේ යුවළ අද නිවුන් දියණියන් දෙදෙනකුගේත් පුතුන් දෙදෙනකුගේත් මවුපියෝ වෙති.

"කොච්චර අමාරු බැරිකම් තිබුණත් මේ අම්මා සෑම වෙලේම හිනා වෙවී හිටියා"

වාට්ටුව භාර හෙද සොයුරිය, කුලුඳුලේම සිවු නිවුන් දරුවන් ලබන්නට තරම් වාසනාවන්ත වූ මේ මව අපට හඳුන්වා දුන්නේ එසේ පවසමිනි. සැබැවින්ම සියලු අපහසුකම් සඟවාගත් ඇගේ මුහුණේ තිබුණේ ප්‍රසන්න සිනහවකි.

"ඒක ගුවන් හමුදාවෙන් අපිට ලැබුණු පුහුණුව නිසා" කතාවට උෟණ පූර්ණයක් එක් කරමින්ම තම බිරියගේ දෑත අල්වා ගත්තේ ඒ ආඩම්බරකාර තාත්තය.
"හැමෝටම නැති දෙයක් මට ලැබිලා තියෙන්නේ. ඒ ගැන නම් ඇත්තටම සතුටුයි"

ඇසෙන නෑසෙන හ¾ඩින් අෑ කථාව ඇරඹුවාය. වාට්ටුව පුරාම දරුවන් දෝත දරාගත් මවුවරුය. එහෙත් ඇගේ දරුවන්ට තවමත් ඇගේ උණුසුම හිමිව නැත. දරුවන් සිවුදෙනකු එකවර කුසදරා හිඳීම එතරම් පහසු කරුණක් නොවේ. එය අතිශය අවදානම් ක්‍රියාවකි. හුස්ම ගැනීමේ ඇවිදීමේ සහ ආහාර ගැනීමේ අපහසුතා සියල්ල මධ්‍යයේ ඇය ඉකුත් 05 වැනිදා හුරුබුහුටි දියණියන් දෙදෙනකු සහ පුතුන් දෙදෙනකු බිහිකළාය.

"මේ අම්මගේ සිසේරියන් සැත්කම අපි මුල ඉඳලම සැලසුම් කළා. මේ අම්මා අපේ සායනයට ආවේ ඇගේ දරු ගැබට සති අටකුත් දවස් පහක් සම්පූර්ණ වෙද්දි"

මේ කතාබහ දිග හැරෙනුයේ සිවු නිවුන් දරුවන්ට උපත ලබාදීමට සිසේරියන් සැත්කම සිදුකළ ද සොයිසා කාන්තා රෝහලේ 16 වාට්ටුවේ නාරි හා ප්‍රසව ජේ‍යෂ්ඨ ලේඛකාධිකාරි වෛද්‍ය ප්‍රසාද් දිල්රුවන් සමඟය. ද සොයිසා කාන්තා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් කේ. ධර්මරත්න මහතාගේ දැනුවත් වීම් යටතේ සහ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය එස්.ඒ. රුවන් පතිරණ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මේ සැත්කම සිදු කෙරුණේ වෛද්‍ය ප්‍රසාද් දිල්රුවන් ප්‍රමුඛ වෛද්‍ය සහ හෙද කණ්ඩායමක සහයෝගයෙනි. ඒ පිළිබඳව අදහස් දැක්වූ වෛද්‍ය ප්‍රසාද් මෙසේ පැවැසීය.

"මේ අම්මව විශේෂඥ වෛද්‍ය එස්.ඒ. රුවන් පතිරණ සර්ට යොමුකරලා තිබ්බේ විශේෂඥ වෛද්‍ය රුවන් සිල්වා ‍ෙදාස්තර මහතා. ඔහු හඳුනාගෙන තිබුණා ඇගේ දරු ගැබේ දරුවන් හතර දෙනකු වැඩෙන බව.

බබාලා හතරදෙනකු සිටිද්දි අම්මට වගේම ඒ දරුවන්ටත් සංකුලතා මතුවෙන්න ඉඩකඩ වැඩි නිසා අපි ඇය ගැන විශේෂ අවධානයක් යොමුකළා. ස්කෑන් කරන විදිය, බෙහෙත් ලබාදෙන විදිය පවා වෙනස් කළා. අලුත්ම සොයාගැනීම්වලින් හෙළිවෙලා තියෙනවා දරුවන් දෙදෙනකුට වැඩි දරු ගැබක් සහිත ගැබිනි මවුවරුන්ගේ දරු ගැබේ වර්ධනයට "ඇස්පී්‍රන්" සුදුසුයි කියලා. ඒ හින්දා අප ඇයට "ඇස්්පී්‍රන්" ලබාදීම ඇරඹුවා. සති 18ක් ගතවෙද්දි සති දෙකෙන් දෙකට වගේම සති 24ක් පිරෙද්දි සතියක් ගාණේ අපි අම්මව සායනයේදී පරීක්ෂා කළා. අපි සැලසුම් කළේ දරු ගැබට සති 28ක් වෙද්දි ඇයව රෝහලේ නතර කරගන්න. ඒත් ඒ අම්මා ගෙදරින් හොඳ සහායක් ලැබෙන නිසා තවත් සතියක් ගෙදර ඉන්න ඕනෑ කිව්වා.

කොහොම වුණත් සති 29 වෙද්දි අපි ඇයට රෝහල් ගත වෙන්න නියම කළා. ඒ හින්දා ඇය නිතරම සිටියේ අපේ පරීක්ෂාව යටතේ. සිවු නිවුන් දරු උපත් සම්බන්ධව අන්තර්ජාලයේ තිබුණු වීඩියෝ රාශියක් අපි අධ්‍යයනය කළා. නිවුන් දරුවන්ට උපත ලබා දෙන්න නිශ්චිත කාල සීමාවක් තිබුණත් සිවු නිවුන් දරු උපතකට නිශ්චිත කාලසීමාවක් සඳහන් වෙලා තිබුණේ නැහැ. අම්මට කායිකව දැනුණු අපහසුතා දවසින් දවස වැඩි වෙද්දී අප තීරණය කළා. සති 33 කුත් දවස් 2ක් ගතවෙද්දි සිසේරියන් සැත්කමක් මඟින් දරු ප්‍රසූතිය සිදුකරන්න. දරුවෝ හතරදෙනාටම විශේෂ අවධානයක් යොමුකරන්න ඕනෑ නිසාම ළඳරු ඒකකයේ කුටීර හතරක්ම සූදානම් කරගෙන තමයි මේ සැත්කම සිදුකළේ. මේ සැත්කමට විකිරණවේදී සහ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් විශාල දායකත්වයක් ලබාදුන්නා."

මේ වනවිට දරුවන් සිවුදෙනාම සිටිනුයේ විශේෂ ළදරු ඒකකයේ කුටීර හතරක් තුළය. ඒ නිරන්තර වෛද්‍ය අවධානය යටතේය.

නවජ සූති විශේෂඥ වෛද්‍ය නලින් ගම්මැදිගේ ඒ පිළිබඳ පැවැසුවේ මෙවැන්නකි.

"බබාලා හතර දෙනාම නිරෝගීව ඉන්නවා. මේ හතර දෙනාම අඩුබර සහ නොමේරූ දරුවන් හැටියටයි ඉපදුණේ. දරුවන් හතර දෙනකු අඩුවයසින් ඉපදෙන එක සාමාන්‍ය සිදුවීමක් නොවන නිසා දරුවෝ ලැබුණට පස්සේ ඔවුන් රැක බලා ගැනීම ගැන අපි කලින් ඉඳලම සැලසුම් කළා.

දරුවන් දෙන්නෙකුට හුස්ම ගැනීමේ අපහසුතා තිබුණා. විසබීජ යන්න පුළුවන් නිසාත් දරුවන්ගේ ශරීර උණුසුම ආරක්ෂා කරගන්න ඕනෑ නිසාත් දරුවන් හතර දෙනා කුටීරවල දමා බලාගන්නවා. මවුකිරිත් ටික ටික ලබාදීලා පුළුවන් ඉක්මනට දරුවන් හතර දෙනාව අම්මටයි තාත්තටයි භාරදෙන්න තමයි ඉන්නේ"

දරුවන් සිවුදෙනකු යනු දැවැන්ත වගකීමකි. එක්වර දරුවන් සිවුදෙනකු ලොකු මහත් කිරීමේ අභියෝගය මේ තරුණ මවුපිය යුවළ අබියස තිබේ.

"සති හතරක් විතර ගත වෙද්දි බඩේ කැක්කුම හොඳටම වැඩි වුණා. එතකොට පරීක්ෂා කරද්දි තමා දරුවන් හතරදෙනෙක් කියලා දැනගත්තේ. එදා ඉඳන්ම මේ රෝහලේ ඩොක්ටර්ස්ලගෙන් ලොකු සහායක් ලැබුණා. හැම වෙලේම මාව ගොඩක් පරීක්ෂා කළා. මුලින්ම මාව පරීක්ෂා කළ රුවන්ද සිල්වා සර්ට විශේෂ ස්තුතියක් කරන්න ඕනෑ.

මට අමාරුකම් මතුවෙද්දි ගුවන් හමුදාවෙන් මට නිවාඩු පවා ලබා දුන්නා. ගුවන් හමුදාපතිතුමා ඇතුළු සියලු කාර්ය මණ්ඩලයටත් කොළඹ කඳවුරේ අණදෙන නිලධාරිතුමා ඇතුළු සියලු දෙනාටත් මේ වෙලාවේ ස්තුති කරන්න ඕනෑ." සමුගැනීමට යද්දි අයේෂා අප හා පැවැසුවේ එවැන්නකි.

සියලු අපහසුකම් මැද දරුවන් සිවුදෙනකු බිහිකළ ඇය බලා සිටිනුයේ කුටීර සතරක උණුසුම ලබන සිය දියණියන් දෙදෙනාත් පුතුන් දෙදෙනාත් තම දෑතට ලැබෙන තෙක්ය. ඒ දිනය නුදුරේදීම උදාවේවා යන්න අපේ පැතුමයි.

විශේෂ ස්තුතිය -
ද සොයිසා කාන්තා රෝහලේ 16 වැනි වාට්ටුව භාර හෙද නිලධාරිනි පද්මා කාරියවසම්ට

සවනි ශේශාධි

ඡායා - අශාන් ගමගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon