හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව ගොනු කර ඇති නඩුව නීති විරෝධී ආයතනයකින් පවරා ඇති නඩුව නිශ්ප්‍රභ කර විත්තිකරුවන් නිදහස් කරන්න

  👤  1117 readers have read this article !
By mawbima 2018-11-08

කේ.එස්. උදයකුමාර්

ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව ගොනු කර ඇති නඩුව නීති විරෝධී ලෙස ස්ථාපනය කරන ලෙස දේශපාලන මුහුණුවරකින් ක්‍රියාත්මක වන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකරන ලද විමර්ශනයක් පදනම් කරගෙන සිදුකර ඇති බැවින් මෙම නඩුව නිශ්ප්‍රභ කොට විත්තිකරුවන් නිදහස් කරන මෙන් විත්තිය මතු කළ මූලික විරෝධතාව පිළිබඳ නියෝගය ලබන 12 වැනිදා ප්‍රකාශ කරන බව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ ඊයේ (07දා) නියෝග කළේය.

සම්පත් අබේකෝන් (සභාපති) සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ මෙම නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී පැවැති දීර්ඝ කරුණු විභාගයකින් අනතුරුව විනිසුරුවරු මෙම නියෝගය කළහ.

මෙම නඩුව ඊයේ (07දා) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා විසින් ගොනුකරන ලද චෝදනා පත්‍රය විත්තිකරුවන්ට කියවා දෙන ලදී.

එම අවස්ථාවේ විත්තිකරුවන්ගේ උත්තරවාද ඉදිරිපත් කිරීමට පෙර අධිකරණය හමුවේ මූලික විරෝධතාවක් මතුකළ විත්තිකාර ගාමිණී සෙනරත් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කරුණු දක්වමින් මෙම නඩුවට අදාළ අධිචෝනා පත්‍රය නීතිය ඉදිරියේ බල ශූන්‍ය ලියවිල්ලක් බැවින් එය නිශ්ප්‍රභ කොට විත්තිකරුවන් මුදා හරින ලෙස ඉල්ලා සිටියේය.

ස්වාමිනී, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 11 වැනි වගන්තියට අනුව අපරාධ විමර්ශනයක් ආරම්භ කිරීම සඳහා මුල් පැමිණිල්ලක් තිබිය යුතුයි. විජේසිරිට එරෙහිව නීතිපති නඩු තීන්දුවෙන්ද ශේ‍ර්ෂ්ඨාධිකරණය සඳහන් කර තිබෙන්නේ මුල් පැමිණිල්ලක් නොමැතිව විමර්ශනයක් ආරම්භ කළ නොහැකි බව. මෙම විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති නඩුවේ නීත්‍යනුකූල මුල් පැමිණිලිකරුවකු නැහැ. මෙම නඩුවේ මුල් පැමිණිලිකරු ලෙස දූෂණ මර්දන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයා නම් කර තිබෙනවා.

දූෂණ මර්දන ලේකම් කාර්යාලය යනු නීත්‍යනුකූලව ස්ථාපිත කළ ආයතනයක් නොවේ. එහි අධ්‍යක්ෂවරයා නීතිය ඉදිරියේ නෛතික පුද්ගල පිළිගැනීමකුත් නැහැ.

එසේ නම් නීතිමය පදනමක් නොමැති දූෂණ මර්දන
ලේකම් කාර්යාලය විසින් කරන ලද පැමිණිල්ල තුළ කිසිදු නීත්‍යනුකූල
පදනමක් නැහැ.

ඒ අනුව විධිමත් නීත්‍යනුකූල මුල් පැමිණිල්ලක් නොමැතිව තමා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම විමර්ශනය පවත්වා මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. එසේ නම් නීත්‍යනුකූල නොවන විමර්ශනයක් පදනම් කරගෙන අධිචෝදනා පත්‍ර ගොනු කිරීමට නීතිපතිවරයා පත් තීරණය නීති විරෝධී බවද සඳහන් කළ යුතුයි යනුවෙන් ප්‍රකාශ කළ විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ස්ථාපනය වී ඇති ආකාරය මුළුමනින්ම නීති විරෝධී යැයි තර්ක කළේය.

ස්වාමිනී, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 11 වැනි වගන්තියට අනුව අපරාධ විමර්ශනයක් කිරීමට බලය පැවැරී ඇත්තේ පොලිස් ස්ථානයකට අනුයුක්ත පොලිස් නිලධාරීන්ට පමණි. එම වගන්තිය ප්‍රකාරව පොලිස් ස්ථානයක් ස්ථාපනය කිරීම සඳහා බලය පැවරී ඇත්තේ ආරක්ෂක විෂය භාර ඇමැතිවරයාටයි. ආරක්ෂක
විෂය භාර ඇමැතිවරයාගෙන් පරිභාහිරව වෙනත් පුද්ගලයන්ට පොලිස් ස්ථාන පිහිටුවීමේ බලතල නැහැ.

එහෙත් මෙම නඩුවේ විමර්ශනය කර තිබෙන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ස්ථාපනය කර තිබෙන්නේ කැබිනට් මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයක් මත පොලිස්පතිවරයා විසින්.
පොලිස්පතිවරයාට මේ ආකාරයෙන් පොලිස් ස්ථාන ස්ථාපිත කිරීමට නීතියෙන් බලයක් නැහැ. එමෙන්ම පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය පොලිස්පතිවරයා විසින් ස්ථාපිත කර තිබෙන්නේ පොලිස් ආඥා පනතේ 55 වැනි වගන්තිය යටතේ. එම 55 වැනි වගන්තිය මඟින් කියැවෙන්නේ පොලිස් නිලධාරීන්ගේ විනය කටයුතු හා සුබසාධන කටයුතු මෙහෙයවන ආකාරය පිළිබඳවයි. එම වගන්තිය තුළ පොලිස් ස්ථාන ස්ථාපිත කිරීම සඳහා පොලිස්පතිවරයාට කිසිදු බලය පවරා දීමක් සිදුකර නැහැ. එසේ නම් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මුළුමනින්ම නීති විරෝධීයි. එම නීති විරෝධී පොලිස් කොට්ඨාසය කළ විමර්ශනයක් හරහා මෙම නඩුව ගොනු කිරීමට නීතිපතිවරයා ගත් තීරණයද නීති විරෝධීයි යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පොලිස් මූලය අපරාධ විමර්ශන කොට්ඨාසය දේශපාලන මුහුණුවරකින් ක්‍රියාත්මක වන ආයතනයක් බවද කීවේය.

ස්වාමිනී, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය සඳහා පැමිණිලි ඉදිරිපත් කිරීම සිදුවන්නේ අග්‍රාමාත්‍යවරයා විසින් පත්කළ කැබිනට් අනු කමිටුවක් මඟිනි. පසුගිය රජය සමයේ සිදුවුණාය කියන එම කමිටුව විසින් විශ්වාස කරන මහ පරිමාණ මූල්‍ය වංචාවලට අදාළ පැමිණිලි තමා මෙම පොලිස් කොට්ඨාසයට යොමු කෙරෙන්නේ. මෙම පැමිණිලි යොමු කරන දූෂණ මර්දන බළකායේ ක්‍රියාකාරිකයකු ලෙස මා මිත්‍ර තුසිත් මුදලිගේ මහතාත් ඇතුළත්ව සිටියා.

මෙම දූෂණ මර්දන කාර්යාලය මුළුමනින්ම ඉකුත් මහින්ද රාජපක්ෂ රජයේ තෝරාගත් සාමාජිකයන්ගෙන් පිළිගැනීම සඳහා ස්ථාපිත කළ ආයතනයක්. එවැනි දේශපාලනමය පසුබිමකින් යුක්ත ආයතනයක් විසින් යොමු කරන පැමිණිලි තමා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශනය කරන්නේ. එවැනි දේශපාලනීකරණ වූ පොලිස් කොට්ඨාසයකින් සිදුකළ පරීක්ෂණයක් පදනම් කරගෙන නීතිපතිවරයා නඩු පැවරීම තුළින් විත්තිකරුවන්ට දැඩි අගතියක් සිදුවෙනවා."

යනුවෙන් ප්‍රකාශ කළ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා නීතිපතිවරයා ගොනුකළ අධිචෝදනා පත්‍රය නිශ්ප්‍රභ කොට විත්තිකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටියේය.
මෙම කරුණු අනුමත කරමින් සෙසු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස, ගාමිණී මාරපන සහ අනිල් සිල්වා යන ජනාධිපති නීතිඥවරුද අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළහ.
ඉන් අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නීත්‍යනුකූලභාවය ගැන විමර්ශනයක් සිදුකිරීමට මෙම අධිකරණයට හැකියාවක් නොමැති බව පෙන්වා දුන්නේය.

ස්වාමිනී! මෙම විමර්ශනය කර තිබෙන්නේ ඉතාම නීත්‍යනුකූල ආකාරයටයි. අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ මුල් තොරතුරක් ලැබීමෙන් පසුව පොලිසිය මෙම විමර්ශනය ආරම්භ කළා. ඉන් අනතුරුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව සාක්ෂිකරු වශයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම පොලිසිය සිදුකළා. මෙම නඩුවේදී විමර්ශන නිලධාරීන් විත්තිකරුවන් හඳුනාගැනීම සඳහා කොතරම් පරිස්සම් වූවාද කිවහොත් නීතිපති උපදෙස් මතයි ඔවුන් එම කාර්යය ඉටු කළේ. අධිචෝදනා ගොනුකිරීමද නීත්‍යනුකූල ආකාරයෙන් සිදුවී තිබෙනවා.

යනුවෙන් සඳහන් කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා විත්තිය විසින් ඉදිරිපත් කර තිබෙන මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කර එම නඩුව විභාගයට නියම කරන්නැයි ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය මෙම මූලික විරෝධතාව පිළිබඳ නියෝගය ලබන 12 වැනිදා ප්‍රකාශ කරන බව නියෝග කළේය.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස පියදාස කුඩාබාලගේ, නීල් බණ්ඩාර හපුහින්න සහ ලසන්ත බණ්ඩාර යන අය නම් කර තිබේ.

2013 වසරේ පෙබරවාරි මස 01 වැනිදා සිට 2015 වසරේ ජනවාරි මස 20 වැනිදා දක්වා කාල සීමාව තුළ ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් හෙලන්කෝ හොටෙල් ඇන්ඩ් ස්පා නමැති සමාගමේ යෙදවීම තුළින් රජයේ මුදල් අවභාවිත කළේ යැයි චෝදනා කරමින් පොදු දේපළ පනත සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon