වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මූලස්ථාන ගොඩනැඟිල්ල ඉදිකිරීමට කැබිනට් අනුමැතිය

  👤  1105 readers have read this article !
By mawbima 2018-11-08

දේශගුණික විපර්යාස අවම කිරීමේ හවුල්කාරීත්ව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා ලෝක බැංකු ආධාර යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මූලස්ථාන ගොඩනැඟිල්ල ඉදි කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය දී ඇත. ඒ අනුව මෙම දෙපාර්තමේන්තුවේම කාර්යාලයක දැනට ස්ථාපිත කර ඇති වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි භූමි භාගය තුළ මහල් එකොළහකින් යුත් මූලස්ථාන ගොඩනැඟිල්ලක් ඉදි කෙරේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ සීමාසහිත ජය බහලු පර්යන්ත පෞද්ගලික සමාගම විසින් සපයනු ලබන සේවා ගාස්තු සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. වර්තමාන වෙළෙඳපොළ තරගකාරිත්වය සහ වඩාත් ගුණාත්මක සේවාවක් සැපයීමට හැකි වන පරිදි සංශෝධනය කිරීමට සහ වරායන් අතර ඒකීය ගාස්තු ක්‍රමයක් හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත.

ආහාර බෝග අතිරික්තය හා හිඟය අවම කිරීම සඳහා බෝග පුරෝකථන තොරතුරු පද්ධතිය (ඛ්ජ්ධ්ඉ) ශක්තිමත් කරමින් මෙම දත්ත පදනම තවදුරටත් කාර්යක්ෂම හා ඵලදායී ලෙස භාවිතයට ගැනීමේ අරමුණින් රට පුරා ආවරණය වන පරිදි ස්ථාපිත කර ඇති ගොවිජන සේවා මධ්‍යස්ථාන, නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාල සහ මහවැලි කලාප කාර්යාල සතුව ඇති සම්පත් භාවිත කරමින් වැඩි දියුණු කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය පළ කර ඇත.

ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලවල පහසුකම් වැඩි දියුණු කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. කෘෂිකර්ම විද්‍යාලවලට බඳවාගනු ලබන ශිෂ්‍යයන් සංඛ්‍යාව තවදුරටත් පුළුල් කිරීමටත් ඔවුන්ට වඩාත් ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමටත් ඒ හරහා කෘෂි නිෂ්පාදනය ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව ඉහළ නැංවීමත් මෙහිදී අරමුණු වේ.

අතහැර දමන ලද ග්‍රාමීය වැව් නැවත පිළිසකර කිරීමට කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතිය ලැබී ඇත. අවුරුදු 5ක් ඇතුළත මෙම ව්‍යාපෘතිය නිම කිරීමට බලාපොරොත්තු වන අතර එයට රුපියල් මිලියන 5,000ක් පමණ වෙන් කිරීමට අපේක්ෂිතය. දැනට පවතින දත්ත අනුව වැව් 14,421ක් ක්‍රියාත්මක තත්ත්වයේ පවතින අතර නොයෙක් හේතූන් මත ග්‍රාමීය වැව් 1958ක් අතහැර දැමීමට ලක්වී ඇති බව හඳුනාගෙන තිබේ. මෙම වැව් ප්‍රතිසංස්කරණය කිරීම මඟින් නව වගාබිම් අක්කර 97,900ක් පමණ වගාවට යෙදවීමට හැකි වෙතැයි අපේක්ෂා කෙරේ.

උතුර නැඟෙනහිර කෘෂි නවෝදය' කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත. 2019 වසරේදී මෙම ව්‍යාපෘතිය උදෙසා රුපියල් මිලියන 3,000ක් වෙන් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.

ශ්‍රී ලංකා ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාර මණ්ඩල පනත සංශෝධනය කිරීමට ඒකමතික අනුමැතිය ලැබී ඇත. ඒ අනුව ශ්‍රී ලංකා ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාර මණ්ඩලයේ නාමය 'ජාතික ආහාර ප්‍රවර්ධන හා කෘෂි අලෙවි මණ්ඩලය' ලෙස වෙනස් කිරීම හා මෙම මණ්ඩලයේ පොදු අරමුණු සංශෝධනය කිරීම සඳහා අදාළ නීති කෙටුම්පත් සම්පාදනය කිරීමට අනුමැතිය ලැබී ඇත.

'ජෛව බලශක්ති 2022' ආර්ථික සංවර්ධනය උදෙසා ජෛව බලශක්ති ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් ඒකමතික අනුමැතිය ලබාදී ඇත. ඒ අනුව ජෛව ස්කන්ධ හෙවත් ශාක ද්‍රව්‍ය එකතු කිරීමේ හා සැපයීමේ මධ්‍යස්ථාන 50ක් ස්ථාපිත කිරීම හරහා නව ව්‍යවසායකයන් 5,000ක් ජෛව ස්කන්ධ වගාව සඳහා යොමු කිරීමට අපේක්ෂිතය.

සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨය සඳහා ගොඩනැඟිල්ලක් ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 452.4ක මුදලකට සීමාසහිත සතුට බිල්ඩර්ස් පෞද්ගලික සමාගම වෙත ප්‍රදානය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

නිසංසලා අබේගුණසේකර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon