ධීවරයකුගෙන් තිස්පන්දහසක අල්ලසක් ගත් ධීවර පරීක්ෂකයකු හා ධීවරයකු අත්අඩංගුවට

  👤  1107 readers have read this article !
By mawbima 2018-11-08

කොළඹ _ එම්.සී. පෙරේරා

නාවික හමුදා අත්අඩංගුවට පත් ධීවරයකුගෙන් රුපියල් තිස්පන් දහසක අල්ලසක් ලබාගත් ත්‍රිකුණාමලය ධීවර පරීක්ෂක කාර්යාලයේ ධීවර පරීක්ෂකවරයකු හා ධීවරයකු ඊයේ (07දා) එම කාර්යාලය තුළදී අල්ලස් හෝ දූෂණ මර්දන විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව එහි අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා කීය.

ත්‍රිකුණාමලය මුහුදේදී නාවික හමුදාව මඟින් තහනම් දැල් ආම්පන්න යොදාගෙන ධීවර කටයුතුවල යෙදුණු ධීවරයකු ඉකුත් සැප්තැම්බර් 11දා අත්අඩංගුවට ගෙන මාළු ඇල්ලීම සඳහා යොදා ගත් දැල් ආම්පන්න හා බෝට්ටුව සමඟ ත්‍රිකුණාමලය අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ධීවර කාර්යාලය වෙත භාරදී තිබිණි.

කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම ධීවරයා නැවත ධීවර කටයුතුවල යෙදීමට හැකි වන ලෙස අධිකරණය වෙත බෝට්ටු එන්ජිම පමණක් ඉදිරිපත් කිරීමට බලපත්‍ර ඇතුළු අනෙකුත් ලිපි ලේඛන සාදා දීම සඳහා සැකකාර ධීවර පරීක්ෂකවරයා රුපියල් පනස් දහසක් ධීවරයාගෙන් ඉල්ලා තිබූ බවත් පොලිසිය කළ පරීක්ෂණවලදී හෙළි වී ඇත. ඉල්ලූ මුදලින් රුපියල් තිස්පන් දහසක මුදලක් සැකකාර ධීවර පරීක්ෂකවරයාට හිතවත් ධීවරයකු වෙත එම ධීවර පරීක්ෂක කාර්යාලය තුළ දී ලබා දෙන ලෙස ද දන්වා ඇත.

අත්අඩංගුවට පත් වූ ධීවරයා මේ පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කරන ලද පැමිණිල්ලකට අනුව එකී මුදල ධීවරයා වෙත ලබා දෙද්දී ධීවරයා අත්අඩංගුවට ගෙන කරන ලද ප්‍රශ්න කිරීමේදී ධීවර පරීක්ෂකවරයාගේ උපදෙස් මත එම මුදල් ලබාගත් බව අනාවරණය වී තිබේ. ඒ අනුව ධීවර පරීක්ෂකවරයාද අත්අඩංගුවට ගත් බව ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයා පැවැසීය. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ත්‍රිකුණාමලය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon