දෑසටම වෙඩි වැදී අන්ධ වූ අලියකුට ප්‍රතිකාර කරයි

  👤  1108 readers have read this article !
By mawbima 2018-11-08

දඹුල්ල - කේ.කේ. ආරියදාස

සිරුරේ වෙඩි පහරවල් දහසකට වඩා තුවාල සලකුණු ඇති ඇස් දෙකටම වෙඩි වැදී අන්ධව දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශයේ මිනිසුන් ආසන්නයේ ගැවසුණු අලියා වනජීවී නිලධාරීන් විසින් අල්ලාගෙන ප්‍රතිකාර කිරීම ආරම්භ කර තිබේ.

පසුගිය දින කිහිපයේම දඹුල්ල, හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහ, හබරණ, මීගස්වැව, හිරිවඩුන්න, අවුඩන්ගාව, දිගම්පතහ ප්‍රදේශවල දිවා කාලයේ මෙන්ම රාත්‍රි කාලයේද වන අලියකු සැරිසරමින් නිවාස කඩා බිඳ දමන බවත් එළවළු සහ පලතුරු වෙළෙඳසල් කඩා ඒවා ආහාරයට ගන්නා බවත් අලියා එළවා දැමීමට උත්සාහ කළද අලියා නොයන බව පවසමින් ප්‍රදේශවාසීහු නොසන්සුන්කාරී ලෙස හැසිරෙන්නට වූහ.
සීගිරිය වනජීවී කාර්යාලයේ නිලධාරීහු දින ගණනාවක් මෙම වන අලියා පලවා හැරීම සඳහා මෙහෙයුම් දියත් කළහ. එවිට වනජීවී නිලධාරීන්ට නිරීක්ෂණය වූයේ මේ අලියාගේ ඇස් දෙක නොපෙනෙන කන් දෙක නොඇසෙන තත්ත්වයකින් පසුවන බවයි.

පසුව වනජීවී පශු වෛද්‍ය ‍ෙදාස්තර ඩබ්ලිව්.එම්. ධර්මකීර්ති මහතා ප්‍රමුඛ කණ්ඩායමක් පැමිණ නිවෙසක් පිටුපස සිටි මේ අලියා නිර්වින්දනය කොට ගැටගැසූ බව වනජීවී නිලධරීහු පවසති. පවතින අධික වර්ෂාවත් සමඟ නිලධාරීහු දැඩි වෙහෙසක් දරමින් අලියාට ප්‍රතිකාර කිරීම සහ අලියා ආරක්ෂිත ස්ථානයකට රැගෙන යෑමට කටයුතු කරද්දී අලියාගේ සිරුර පුරා වෙඩි වැදුණු තුවාල දහසකට අධික ප්‍රමාණයක් දැක ගැනීමට හැකිවූ බවත් සිරුරේ වෙඩි නොවැදුණු ස්ථානයක් සොයා ගැනීමට නොහැකි තරම් බවත් නිලධාරීහු පවසති.

දෑස නොපෙනීම හා තුවාල වේදනා නිසා මේ අලියා මිනිස් වාසයට පැමිණ ඇති බවත් එසේ එද්දී මිනිසුන් අලියාට ගිනි බිඳීම වෙඩි තැබීම ආදී මෙන්ම අලි වෙඩි පුපුරවාලීම සිදු කරන බවත් මේ නිසා අලියාගේ කන් ඇසීම පවා සීමාවී ඇති බව වනජීවී නිලධාරීහු කියති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon