හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා 21දා තෙක් යළි රිමාන්ඩ්

  👤  1210 readers have read this article !
By mawbima 2018-11-08

අමිල අබේරත්න

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ලබන 21 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (7දා) නියෝග කළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් සහ සහකාර පොලිස් අධිකාරිවරයකු ඝාතනය කිරීමට සැලැසුම් කළා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන කොටුව මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඊයේ (7දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට සිටියේය.

ඊයේ (7දා) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු කරුණු සලකා බලමින් සැකකාර නියෝජ්‍ය පොලිස්පතිවරයා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත්වරයා නියෝග කෙළේය.

හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඇප නියම කරන ලෙස වාචිකව අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටි අතර ඒ සම්බන්ධව ලිඛිත දේශන ඉදිරි නඩු දිනය වන ලබන 21 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා දන්වා සිටි අතර ඒ සම්බන්ධයෙන් පැමිණිලි පාර්ශ්වයේ ලිඛිත දේශනද එදිනට ඉදිරිපත් කරන ලෙස දන්වා සිටියේය.

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව සහ ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ යම් පාර්ශ්වයක බලපෑම මත බව හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා කරුණු දක්වමින් අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය. සිද්ධියට අදාළ දුරකථන හඬපටවල ඇති ඇතැම් කොටස් පැමිණිලිකරු වන නාමල් කුමාර යන අය විසින් 'ඔබියෝ කටින්' නමැති මෘදුකාංගයක් මඟින් ඉවත් කර ඇති බවද එවැනි හඬපටයක් සාක්ෂියක් ලෙස කිසි ලෙසකින් භාරගත නොහැකි බවද නීතිඥවරයා ප්‍රකාශ කර සිටියේය.

ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ සැල කර සිටියේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂවරයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීම සැලසුම් කිරීමට අදාළව තොරතුරු ඇති දුරකථන හඬපටවල කිසිදු ගැටලුවක් නොමැති බවද එම හඬපට පැමිණිලිකරු වන නාලක කුමාර සහ සැකකාර නියෝජ්‍ය පොලිස්පතිවරයා අභිමුඛව සිටියදී සජීවීව පැමිණිලිකරු විසින් පටිගත කළ ඒවා බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ සැලකර සිටියේය.

ඒ බව රස පරීක්ෂකවරයා හඳුනාගෙන තිබෙන බවද පැමිණිලිකරු විසින් ඉවත් කර ඇති දුරකථන හඬපට කොටස් නැවත උත්පාදනය කරගැනීම සඳහා ඊට අදාළ විශේෂඥයන්ගේ සහාය පතන බවද ඒ සම්බන්ධයෙන් සුවිශේෂී විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ප්‍රකාශ කළේය.

ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ දවස් 4ක පමණ දීර්ඝ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව සහ සිද්ධියට අදාළව
සාක්ෂිකරුවන් 86 දෙනකුගේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කර සිටි අතර හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා ඝාතනයන් සැලැසුම්කර ඇත්තේ ඉතා සූක්ෂ්ම ලෙස බවද සැලකර සිටියේය.

සහකාර පොලිස් අධිකාරි ප්‍රසන්න අල්විස් මහතා ඝාතනය කිරීමට හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සැලැසුම් කළ බවට ප්‍රබල සාක්ෂි අනාවරණය වී තිබෙන බවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට සැලැසුම් කළ බවට සුවිශේෂී කාරණා අනාවරණය වෙමින් පවතින බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි අයි.යූ.කේ. ලොකුහෙට්ටි මහතා අධිකරණයේ පෙනී සිටියේය.

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා කොළඹ කොටුව අධිකරණයට ඊයේ (7දා) බන්ධනාගාර බස් රථයට පැමිණි අයුරු හා අධිකරණයෙන් පිටව යන අයුරු ඡායාරූපවලින් දැක්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon