පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන්න -ජනපති හා අගමැති මැතිවරණ කොමිසම් සභාපතිට කියති

  👤  1142 readers have read this article !
By mawbima 2018-11-08

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය, ශලනි වෙත්තසිංහ

පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙසට ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට දැනුම් දුන් බවත් එම මැතිවරණය කොට්ඨාස ක්‍රමයට පැවැත්වීමට අපහසු නම් මනාප ක්‍රමයට පවත්වන ලෙසට ජනාධිපතිවරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට දැනුම් දුන් බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි
ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ලබන 14 වැනිදා පාර්ලිමේන්තුව රැස්වූවාට පසු සිදුවන ප්‍රමුඛ කාර්යය වන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම පමණක් බවද පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම හෝ විශ්වාසභංග යෝජනාවක් ගෙනඒම පිළිබඳව යෝජනා එදිනට සාකච්ඡාවට නොගන්නා බවද
ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ලබන 14 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු පාර්ලිමේන්තුව කල් තබන බවත් ඉන් පසුව පාර්ලිමේන්තුවේ කරන කාර්යභාරය පිළිබඳ පක්ෂ නායකයන් රැස්වී සාකච්ඡා කරන බවත් අබේවර්ධන මහතා පැවැසුවේය.

නව අගමැතිවරයාගේ පත්වීම නීත්‍යනුකූල නොමැති නම් ජනමත විචාරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයාට හැකියාවක් ඇතැයිද එම තීරණය අධිකරණයට නවතාලිය නොහැකි යැයිද පැවැසූ ලක්ෂ්මන්
යාපා මන්ත්‍රිවරයා පසුගිය කාලයේ ජනතාවට සිදුවූ පීඩාකාරී සිදුවීම්වලට කඩිනම් විසඳුම් ලබාදීමට ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඉදිරි කාලයේදී පියවර ගනු ඇතැයිද පැවැසීය.

ලක්ෂ්මන් යාපා මහතා මේ බව පැවැසුවේ ඊයේ (07දා) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon