රංගනගේ අවසන් ටෙස්ට් සාදයට පිතිකරුවන්ගෙන් ලැබුණු උදව්ව මදි

  👤  2398 readers have read this article !
By mawbima 2018-11-08

සිරිනාම රාජපක්‍ෂ,
ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..


ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මැතිව්ස් හැර මුල් පෙළ පිතිකරුවන් විසින් යළිත් පෙන්වන ලද අසාර්ථකභාවය හේතුවෙන් එංගලන්තය සමඟ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ගාල්ලේදී පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරගයේ ප්‍රථම ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 68කදී ලකුණු 203කට දැවී යෑම නිසා දෙවැනි දිනය වූ ඊයේ (7දා) දිනය නිමා වන විට දෙවැනි ඉනිමටද කිසිවකු නොදැවී ලකුණු 38ක් ලබා සිටින එංගලන්තය ලකුණු 177ක් ඉදිරියෙන් සිටී. එංගලන්ත පිල පළමු ඉනිම වෙනුවෙන් ලැබූ ලකුණු 342 හේතුවෙන් ඔවුන්ට ඊයේ සවස යළිත් දෙවැනි ඉනිම ආරම්භ කරන විට ලකුණු 139ක් ඉදිරියෙන් සිටීමට හැකි වූ අතර ශ්‍රී ලංකා පිලේ දිල්රුවන් පෙරේරා කඩුලු 5ක් දවාගැනීම කැපී පෙනිණි.


ඊයේ තරගය ආරම්භ වී පැය භාගයක පමණ කාලයක් තුළ එංගලන්ත කණ්ඩායමේ සියලු දෙනා දවා ගැනීමෙන් පසුව පෙරවරු 10.40ට පමණ ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිම ඇරැඹීමට කෞෂාල් සිල්වා සමඟ පැමිණි දිමුත් කරුණාරත්න මුහුණ දුන් ජිමී ඇන්ඩර්සන්ගේ පළමු පන්දුවටම හතරේ පහරක් එල්ල කරමින් ලකුණු ලබා ගැනීම ආරම්භ කළද ඊළඟ පන්දුවේදීම කඩුලු රකින බෙන් ෆෝක්ස්ට උඩපන්දුවක් දී දිමුත් දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන් වූයේ 4ට 1ක් ලෙසිනි. ඉන් පසුව කෞෂාල්ට එක්වූ කුසල් මෙණ්ඩිස් මුළු ලකුණු 10ක් දක්වා ගෙනැවිත් සිටියදී පන්දු 14කින් ලකුණු 1ක් ලබා සිටි කෞෂාල් සෑම් කරන් ඉදිරියේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසු වූ අතර කුසල්ද ජැක් ලීච්ගේ දඟපන්දුවක් හමුවේ පළමු ස්ලිප්හි සිටි බෙන් ස්ටොක්ස්ට උඩපන්දුවක් දී 19කට දැවී ගියේය. ඉන් පසුව ධනංජය සමඟ නායක චන්දිමාල් එක්වුවද මුළු ලකුණු 40ක් වන මෙහොතේ ලකුණු 14ක් ලබා සිටි ධනංජයද මොයින් අලිගේ පන්දුවක් කඩුල්ලේ දැවැටීමෙන් දැවී ගියේය.


ඒ අනුව දිවා භෝජනයට පෙරම චන්දිමාල්ට එක්වූ හිටපු නායක ඇන්ජිලෝ මැතිව්ස් දෙදෙනා සෙමින් සෙමෙන් ඉනිම ගොඩනඟමින් 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 75ක සබඳතාවක් ඇතිකර තිබූ මොහොතේ අදිල් රෂීඩ්ගේ දඟ පන්දුවකට ඉදිරියට පැන පහරක් එල්ල කිරීමට යෑමෙන් ෆෝක්ස්ට කඩුල්ල බිඳ දැමීමට ඉඩ සැලැසිණි. ඒ අනුව මිනිත්තු 96ක් කඩුල්ලේ රැඳී සිට ලකුණු 33ක් ලබා ගත් ශ්‍රී ලංකා නායකයාට දිවා භෝජනයෙන් පසුව නැවත ක්‍රීඩාගාරයට යෑමට සිදුවූ අතර තේ පානයට පෙර තම 30 වැනි ටෙස්ට් අර්ධ ශතකය පසුකොට ලකුණු 52ක් වාර්තා කර සිටි මැතිව්ස්ට තේ පානයෙන් පසුව මොයින් අලි යැවූ පළමු පන්දුවේදීම දැවී යන්නට සිදුවූයේ ජෙනින්ස් උඩපන්දුවක් රැකගැනීම හේතුවෙනි. පන්දු 122කට මුහුණ දෙමින් මිනිත්තු 142ක් කඩුල්ලේ සිටි මැතිව්ස් ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා ලෙසින් දැවී ගිය පසු දික්වැල්ල ලකුණු 28කටත් දිල්රුවන් ලකුණු 21කටත් දවාගන්නට අලි හා ලීච් සමත් වූහ. කෙසේ වෙතත් අවසන් කඩුල්ල සඳහා රංගන හේරත් ගාල්ල පිටියට පිවිසෙන විට එංගලන්ත කණ්ඩායම විසින් ගෞරවාන්විත ලෙස පිළිගැනීමට ලක්කරන ලද අතර ඔහු ලකුණු 15ක් ලබා නොදැවී සිටියේය.


ඊයේ තරගය ආරම්භ කරමින් එංගලන්ත ඉනිමේ 92 වැනි පන්දුවාරය යැවූ දිල්රුවන් පෙරේරාගේ පළමු පන්දුවටම පෙර දිනයේ ලකුණු 87ක් ලබා සිටි බෙන් ෆෝක්ස් විසින් හතරේ පහරක් එල්ලකරමින් මුළු ලකුණු 325 දක්වා වැඩිකළද 96 වැනි පන්දුවාරය යැවූ දිල්රුවන්ගේ 2 වැනි පන්දුවට පළමු ස්ලිප්හි සිටි ධනංජය අතට උඩපන්දුවක් දීමෙන් ජැක් ලීච් ලකුණු 15කට දැවී ගියේය. ඒ අනුව දිල්රුවන් තම ටෙස්ට් දිවියේ ඉනිමකදී කඩුලු 5ක් බැගින් ගත් 7 වැනි අවස්ථාවද ඊයේ ගාල්ලේදී වාර්තා කළ අතර ඉනිමේ 97 වැනි පන්දුවාරය යැවූ ලක්මාල්ට හතරේ පහර තුනකින්ම සංග්‍රහ කළ ෆෝක්ස් තම මංගල ටෙස්ට් ගමනේදීම ශතකයක් ලබා ගැනීමට සමත් විය. මැට් ප්‍රයර්ට පසු එම දස්කම කළ දෙවැනි එංගලන්ත ටෙස්ට් කඩුලු රකින්නා ලෙසද ෆෝක්ස් ඉතිහාසයට එක්වන අතර ඔහු මිනිත්තු 289ක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 201කදී ලබා ගත් ලකුණු 107 නිසාම ඊයේ උදෑසන පන්දුවාර 6කින් පසුව එංගලන්ත ඉනිම 342කදී නිමා විය.
ඡායාරූප _ තාරක බස්නායක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon