විස්සයි-20 ලෝක වාර්තා තුනක් රෝහිත් ෂර්මාගේ නමට

  👤  2426 readers have read this article !
By mawbima 2018-11-08

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දියාව අතර පසුගියදා පැවැති දෙවැනි විස්සයි - 20 ක්‍රිකට් තරගයේදී ශතකයක් වාර්තා කළ ඉන්දීය විස්සයි-20 නායක රෝහිත් ෂර්මා ජාත්‍යන්තර විස්සයි - 20 ශතක 4ක් ලබාගත් ලොව පළමු ක්‍රීඩකයා වශයෙන් වාර්තා පොත් අතරට එක් විය. ඒ අනුව ජාත්‍යන්තර විස්සයි-20 ශතක 3ක් ලබා ඇති නවසීලන්ත ක්‍රීඩක කොලින් මුන්රෝ මෙයට පෙර එම සටහනේ පළමු තැනට පත්වී තිබිණි.


එම තරගයේදී ෂර්මා පන්දු 61ක් තුළ හයේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 111ක් ලබා ගත්තේය. එම ඉනිමේදී ඔහු එල්ල කළ හයේ පහර සංඛ්‍යාව (7) සියලුම තරග ආකෘතිවලට අනුව (ටෙස්ට්, එක්දින සහ විස්සයි-20) වසරක් තුළ වැඩිම හයේ පහර සංඛ්‍යවේ වාර්තාව ද (හයේ පහර 69ක්) නැවත වරක් තමා සතු කර ගැනීමටද ෂර්මා සමත් විය. එහිදී රෝහිත් ෂර්මා විසින් බිඳහෙළන ලද්දේ ඔහු විසින්ම 2017 වර්ෂය තුළදී හයේ පහර 65ක් එල්ල කරමින් පිහිටුවා තිබූ වාර්තාව වීමද විශේෂත්වයකි.


මේ අතර එම තරගයේදී ෂිකර් ධවාන් සහ රෝහිත් ෂර්මා එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 123ක සම්බන්ධතාවක් එක් කිරීමට සමත් වූ අතර, මෙම ලකුණු ප්‍රමාණයත් සමඟින් ඔවුන් දෙදෙනා එක්ව විස්සයි-20 තරගවලදී රැස්කර ඇති ලකුණු 1268 විස්සයි-20 තරගවලදී පිතිකරු යුගළයක් වාර්තා කළ වැඩිම ලකුණු ප්‍රමාණයේ වාර්තාව වීමද කැපී පෙනිණි. ඒ අනුව ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවන් වූ ෂේන් වොට්සන් සහ ඩේවිඩ් වෝනර් එක්ව ලකුණු 1154ක් ලබා ගනිමින් මින්පෙර එම වාර්තාවට හිමිකම් කියා තිබිණි.
සටහන - ගමිත දෙහිපිටිය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon