විදෙස් ක්‍රීඩකයන් බඳවා ගැනීමේ තීන්දුවට එරෙහිව සී.එච්. ඇන්ඩ් එෆ්.සී. නඩු මඟට!

  👤  2364 readers have read this article !
By mawbima 2018-11-08

විචිත්‍ර වීරසිංහ


ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය සඳහා විදේශීය ක්‍රීඩකයන් සහභාගි කරවාගැනීමට අවස්ථාව ලබා නොදීම සම්බන්ධයෙන් සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම නීති මඟට යොමුවීමට වැඩි ඉඩක් පවතින හෙයින් හෙට (9දා) ආරම්භ වීමට නියමිත මෙම තරගාවලිය කල් යන ලකුණු පහළ වී තිබේ.


කෙසේ වෙතත් මෙවර තරගාවලියේ නව නීති රීති අනුව කණ්ඩායම් ලැබූ ස්ථානයන් අනුව පළමු ස්ථානයේ සිට සිවුවැනි ස්ථානය දක්වා සිටින කණ්ඩායම් හතර සඳහා කිසිදු විදෙස් ක්‍රීඩකයකු කණ්ඩායමට ඇතුළත් කරගැනීමට නොහැකි වුවද අනෙක් කණ්ඩායම් 4 සඳහා (පස්වැනි ස්ථානයේ සිට 8 වැනි ස්ථානය දක්වා සිටින කණ්ඩායම් 4ට) විදෙස් ක්‍රීඩකයකු බැගින් එකතු කරගැනීමට අවස්ථාව ලැබී තිබීම මෙම ගැටලුවට ආසන්නතම හේතුව වී ඇති බව පැවැසේ.


ඒ අනුව මෙම නීති රාමුව වෙනස් විය යුතු බව බව සඳහන් කරමින් ඔවුන් (සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම) පෙන්වා දී ඇත්තේ සෑම කණ්ඩායමකටම සමාන අයිතියක් (විදේශීය ක්‍රීඩකයන් ලබා ගැනීම හෝ නොගැනීම) ලබා දිය යුතු බවය.


මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ තරගාවලි කමිටු සභාපති රිස්ලි ඉල්ලියාස් මහතා "මව්බිම"ට පැවැසුවේ මෙම තරගාවලිය පැවැත්වීමට නොහැකි වුවහොත් නැඟී එන ක්‍රීඩකයන්ට එයින් විශාල පාඩුවක් සිදුවන බවය. "මේ පිළිබඳව තවම කවුරුත් මට ලිඛිතව දැනුම් දීමත් කරලා නැහැ. මෙම තරගාවලිය නීති රීති සම්බන්ධයෙන් මාස දෙකක කාලයක සිට සාකච්ඡා කරලායි තීරණ ගත්තේ. එක්වරම මෙවැනි ගැටලුවක් මතුවුණේ ඇයි කියලා මම දන්නේ නැහැ. කොහොම වුණත් ඒ අය නීති මඟට ගියොත් තරගාවලිය කල් යාවි. එහෙම වුණොත් එයින් නැඟී එන ක්‍රීඩකයන්ට මෙන්ම ක්‍රීඩාලෝලීන්ටද විශාල පාඩුවක් වේවි" යනුවෙන්ද ඉල්ලියාස් මහතා පෙන්වා දුන්නේය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා රග්බි සංගමයේ ප්‍රකාශකයකු සඳහන් කළේ මින් පෙර පියවරක් නොගෙන සිට තරගාවලිය ආරම්භ කිරීමට ආසන්නම මොහොතේ නඩු මඟට යෑමෙන් පාඩුව සිදුවන්නේ රටේ සමස්ත රග්බි ක්‍රීඩාවට බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon