ආසියානු පාපන්දු සම්මේලන ව්‍යවස්ථාවට ඡන්දය දීම ගැන රංජිත් විරුද්ධ වෙයි

  👤  2377 readers have read this article !
By mawbima 2018-11-08

මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවරදී පසුගියදා පැවැති ආසියානු පාපන්දු සම්මේලනයේ මහ සභා රැස්වීමේදී සිදුකළ ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකා පාපන්දු බලධාරීන් පක්ෂව ඡන්දය ලබාදීම පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේද අප්‍රසාදය පළවී තිබූ අතර අමාත්‍යවරයාගේ අදහසට අනුව යමින් මෙරට පාපන්දු ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ රැසක් එම සංශෝධනයට පක්ෂව ශ්‍රී ලංකාව ඡන්දය දීම පිළිබඳව දැඩි අප්‍රසාදය පළකර ඇත.


ඒ අනුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපතිවරයකු මෙන්ම දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ හිටපු ජේ‍යෂ්ඨ උප සභාපතිවරයකුද වන රංජිත් රොද්‍රිගූ මහතා මේ සම්බන්ධයෙන් තමාගේ අසතුට පළකරමින් මෙසේ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කර ඇත.


"ශ්‍රී ලාංකේය ක්‍රීඩාවේ යහපත, අභිවෘද්ධිය වෙනුවෙන් අමාත්‍යාංශයක් මෙන්ම අමාත්‍යවරයකුද පත් කොට ඇත්තේය. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පමණක් නොව මෙරට හැටකට ආසන්න ක්‍රීඩා සංගම් සියල්ලම පාහේ ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රමුඛ ක්‍රීඩා අමාත්‍යවරයාට යටත්ය. ඕනෑම රටක පුරවැසියකු මෙන්ම තම රටේ නීතියට යටත් විය යුතුය. ගරු කළ යුතුය.


එවන් පසුබිමක වත්මන් පාපන්දු නිලධාරීන් මෙම ප්‍රශ්නයේදී ක්‍රියා කොට ඇත්තේ රට ගැන අමතක කොටය. එවැනි තත්ත්වයක් තුළ කවුරු කුමන සංගමයක වුවත් එවන් තීන්දුවක් ගන්නට පෙර ක්‍රීඩා බලධාරියා වන ක්‍රීඩා අමාත්‍යවරයා දැනුවත් කොට නිසි තීරණයකට එළැඹිය යුතුය. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය නියෝජනය කරමින් එම අවස්ථාවට සහභාගි වූයේ පාපන්දු සම්මේලනයේ සභාපති සහ ලේකම්ය. එසේ නම් ඔවුන් මුලින් කළ යුත්තේ ක්‍රීඩා ඇමැතිවරයා මුණගැසී රටක් ලෙස ගන්නා තීන්දුව සපථ කරගෙන මෙරට නියෝජිතයන් ලෙස රටේ තීන්දුව එරටදී ප්‍රකාශ කීරීමය.


එහෙත් සිදුව ඇත්තේ ඊට පරිබාහිරින්ම වෙනස් දෙයකි. මෙම ව්‍යවස්ථා සංශෝධනයට එකඟ වීම මෙරට විදේශ ප්‍රතිපත්තිවලට පටහැනි බව ක්‍රීඩා අමාත්‍යවරයා මෙරට පාපන්දු බලධාරීන්ව දැනුවත් කර තිබියදී කටයුතු කර ඇත්තේ ඇමැතිවරයා නොසලකා ක්‍රියාකිරීමය.


ආසියානු සම්මේලනයට ව්‍යවස්ථා සංශෝධන ගෙන ආ හැකිය. එමෙන්ම එයට පක්ෂ මෙන්ම විපක්ෂවද ඡන්දය දිය හැකිය. ඡන්දයක් පවත්වන්නට ඒ අයිතිය ඇති නිසාය. එසේ නම් ලංකා බලධාරීන්ට ආසියානු බලධාරීන් මුණගැසී අප රටේ නීතිය සහ අප එයට බැඳී සිටින රාමුව පැහැදිලි කොට අප ඡන්දයෙන් වැළැකී සිටීම හෝ විරුද්ධ වීමට හේතු මේ කරුණු බව ඉතාම පැහැදිලිව පෙන්වා දිය හැකිව තිබිණි. කොටින්ම අප රටේ ස්ථාවරය පැහැදිලි කළ හැකිය. එසේ වූවා කියා ආසියානු පාපන්දු සම්මේලනයෙන් ලැබෙන ආධාර අපට නොලැබී යන්නේ නැත. 2016 වසරේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති තෝරන නිලවරණයේදී වත්මන් සභාපති ජියානි ඉන්ෆන්ටිනෝ සමඟ තරග කළේ ආසියානු පාපන්දු සම්මේලනයේ සභාපති ෂේක් සල්මාන්ය. එහිදී ආසියාවේ රටවල් බහුතරයකදී ඡන්දය ලැබුණේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ වත්මන් සභාපතිට විරුද්ධවය.

එසේ වූවා කියා ඔහු සභාපති වූ පසු ආසියානු රටවලට දෙන ආධාර නතර කළේ නැත. ජාත්‍යන්තරය එවැනි පටු රාමුවක වැඩ කරන්නේ නැත. සෙසු රටවල් මෙම ප්‍රශ්නයේදී ක්‍රියා කරන ආකාරයට වඩා අපට වැදගත් වන්නේ අප රටක් සේ ක්‍රියා කළ යුතු ආකාරයයි. රටවල් බහුතරය මෙයට එකඟ වූවා කියා අප ක්‍රියා කිරීම ලාමකය. අනෙක් රටවල් ක්‍රියා කරනුයේ ඔවුන්ගේ රටේ ප්‍රතිපත්ති මතය. අප ඒවා පිළිබඳ අධ්‍යයනයක් කොට නැත. එබැවින් අප ක්‍රියා කළ යුත්තේ අප රටේ නීතියට හා අපට යහපතක් වන ආකාරයටය. එහෙත් එලෙස නොවී මෙරට පාපන්දු බලධාරීන් හිතුවක්කාර ලෙස ක්‍රියා කිරීම අභාගය්‍යකි. එය රටක් ලෙස අප ආපස්සට ඇද දැමීමකි. ඒ නිසාම ක්‍රීඩා අමාත්‍යවරයාත්, පාපන්දු බලධාරීනුත් අතර මේ වන විට ගැටුමක් නිර්මාණය වී ඇත. ඇමැතිවරයා උත්සාහ කරනුයේ කෙසේ හෝ අප ගත් වැරදි තීරණය නැවත නිවැරදි කිරීමටය.


එයට ඇති එකම පිහිට අප මෙම පාපන්දු සම්මේලනය විසුරුවා හැර යථා තත්ත්වයට පත්කරන තෙක් කමිටුවක් (ව්ධපථචතඪලචබඪධද ඛ්ධථථඪබබඥඥ) පත් කිරීමය. එම නිලධාරීන් ලවා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය දැනුවත් කොට මෙය රටක් ලෙස නොව පුද්ගලත්වය මත ගත් තීන්දුවක් බව පසක් කර මෙම තීන්දුව ආපස්සට ගැනීමය. මෙය නැවත යථා තත්ත්වයට පත්කළ නොහැකි කරුණක් නොවන බව මා ලබා ඇති අත්දැකීම් මත සපථ කරමි. එබැවින් ක්‍රීඩා අමාත්‍යවරයා ජාත්‍යන්තර සහ ආසියානු පාපන්දු බලධාරීන් දැනුවත් කිරීම කඩිනමින් කළ යුතුය. එය ඇමැතිවරයාට කළ හැකිය යන්න මාගේ ස්ථිරසාර අදහසය. වහාම එය නොකළහොත් මෙම තීන්දුවේ බරපතළ ප්‍රතිවිපාකවලට අපට අනාගතයේ රටක් ලෙස භුක්ති විඳින්නට සිදුවනවා නියත බවද අවධාරණය කළ යුතුමය"

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon