සතුන් කා දැමූ මිනිස් සිරුරක කොටස් ලඳු කැලෑවක

  👤  2409 readers have read this article !
By mawbima 2018-11-08

බළන්ගොඩ - නලින්ද වලේබොඩ,බළන්ගොඩ - පියසේන එන්. ගමගේ


බළන්ගොඩ පින්නවල අමුපිටිය ප්‍රදේශයේ ලඳු කැලෑවක තිබී මියගිය පුද්ගලයකුගේ හිස්කබල සහ සතුන් විසින් කාදැමීම හේතුවෙන් විසිරී තිබූ ශරීර කොටස් පෙරේදා (06දා) සවස සොයාගත් බව පින්නවල පොලිසිය පවසයි.


මෙලෙස මියගොස් ඇත්තේ බළන්ගොඩ නෙල්ලිවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයකු බවට ඊයේ (07දා) පෙරවරුවේ හඳුනාගත් බව පින්නවල පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ නෙල්ලිවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි කේ.කේ. හීන්මහත්තයා (62) දෙදරු පියෙකි. මොහු බළන්ගොඩ ඩිපෝවේ කාර්මික නිලධාරියෙක් ලෙස සේවය කර විශ්‍රාම ගිය පුද්ගලයෙක්ය.


හිස්කබල අසල තිබී සොයා ගත් ඇඳුම්වලින් දරුවන් විසින් තම පියාගේ ඇඳුම් බවට හඳුනා ගෙන තිබේ. මේ පුද්ගලයා අතුරුදන් වී ඇති බවට පසුගිය ඔක්තෝබර් මාසයේ පැමිණිල්ලක් ලැබී ඇති බව පින්නවල පොලිසිය පවසයි.


මෙය ඝාතනයක්ද නැතහොත් සියදිවි හානි කර ගැනීමක්ද යන්න මෙතෙක් අනාවරණය කරගෙන නැත. හිස්කබල ළඟ තිබී අරක්කු බෝතලයක්, කෝප්පයක් සහ වස බෝතලයක්ද සොයාගත් බව පොලිසිය කියයි. එම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වතුර බටයකට ජලය හැරවීම සඳහා ලඳු කැලෑවට ඇතුළු වී තිබෙන අතර එම අවස්ථාවේදී සිද්ධිය දැක පින්නවල පොලිසියට දන්වා ඇත. එම ස්ථානයේ තිබී කොට කලිසමක් සහ සරමක්ද පොලිසිය විසින් සොයාගෙන ඇත.


සිද්ධිය සම්බන්ධයෙන් පින්නවල පොලිසියේ ස්ථානාධිපති එස්.පී. අමරතුංග මහතාගේ උපදෙස් පරිදි පින්නවල පොලිසියේ පත්මසිරි (23302), නන්දසේන (34153), ආරියදාස (33807) යන නිලධාරීන් පරීක්‍ෂණ පවත්වති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon