ගමන් මල්ලේත්, ගුදයේත් මැණික් සඟවාගෙන මැලේසියාවට යෑමට පැමිණි මගියා රේගු දැලේ

  👤  2387 readers have read this article !
By mawbima 2018-11-08

කටුනායක -
ගයා තිරිමාදුර


මැණික් තොගයක් නීතිවිරෝධී ලෙස මැලේසියාවට රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියකු ඊයේ (07දා) දහවල් කටුනායක ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.


බේරුවල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු (43) වන මොහු මැලේසියාවේ ක්වාලාලම්පූර් බලා පිටත්ව යෑම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබිණි.


ඔහු සිය ගමන් මල්ලේ මෙන්ම, සිරුරේ, ගුද මාර්ගයේද පසිංගල්, පච්ච, නිල් මැණික්, දියමන්ති, මරකත සහ පුෂ්පරාග යන වර්ගවල රුපියල් 15,46,510ක් වටිනා, කැරට් 298ක් පමණ බර මෙම මැණික් තොගය සඟවා ගෙන සිටි බව රේගු නිලධාරීන් පවසයි.


ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ස්ටැන්ලි සේනාරත්න මහතාගේ උපදෙස් මත, කටුනායක ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂ එම්.ඒ. කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ කනිෂ්ක ද සේරම්, එන්.පී. අලහප්පෙරුම, රේගු අධිකාරීවරුන් වන එච්.එස්. සුමනසේකර, එම්. විමලසේන, සහකාර රේගු අධිකාරීවරුන් වන උවිදු පෙරේරා, යූ.ජී..එස්. උදයංග, ආර්.එම්.ඒ.එල්. රත්නායක, ඒ.වී.පී. නාලක, එම්.අයි.යූෂුප්, එම්.ඩී.පී.ටී. මදනායක, එම්.ජී.ටී. පඹසර, එම්.එම්.එස්.පී.බී. මල්ලව සහ එම්.ටී.අයි. උමයංගනී යන නිලධාරීන් මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon